හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැඟවී නොමැති අතර ඔහු සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමට එක්වෙමිනි.
මෙම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ල පිළිබඳව සහ එළඹෙන අගෝස්තු මාසයේදී ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසීය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති අතර ඇතැම් වාර්තාවල සඳහන් වන ආකාරයට කිසිඳු අයුරකින් රැකවරණය පතා ගිය ගමනක් නොවන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදියා විසින් මතු කළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.
කෙසේවෙතත් දේශපාලනික වශයෙන් ගත් කළ, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නොමැති බවද සඳහන් කළේය.