― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට වෙනුවෙන් හිතාමතා වැරදි තීරණ අරන් නෑ - මහින්ද රාජපක්ෂ

රට වෙනුවෙන් හිතාමතා වැරදි තීරණ අරන් නෑ – මහින්ද රාජපක්ෂ

රට වෙනුවෙන් හිතාමතා වැරදි තීන්දු අරගෙන නොමැති බවත් ඒ නිසා කාටවත් ඔවුන්ව වැරදිකරුවන් ලෙස හඳුන්වන්නට බැරි බවත් මහින්ද රාජපක්ෂ පැවසීය.

ජනතාව කුලප්පු කොට ප්‍රශ්න විචාරය කළ පමණින් කිසිඳා ප්‍රශ්න විසඳිය නොහැකි බව පැවසූ මහින්ද කියා සිටියේ හැම ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙන්නෙ ප්‍රශ්නවලට බය නැතිව රටේ අභියෝගය භාරගන්න කණ්ඩායමට පමණක් බවත් අදත් ඊට සුදුසුම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්ය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (27) හලාවත, ආරච්චිකට්ටුව නගරයේදී පැවති පොහොට්ටුවේ ජන රැළිය අමතමිනි. මෙම රැළිය ජල සම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත විසින් සංවිධානය කර තිබේ.

අපි කළුතරින් පටන් ගත්ත ගමන එදා නාවලපිටියට ගිහින් අද ආරච්චිකට්ටුවට පැමිණ තිබෙනවා. මේ හැමතැනදිම ජනතාවගෙන් අපට බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම අපේ අනාගත වැඩපිළිවෙල වෙනුවෙන් ඔබ දක්වන කැපවීම අගය කරන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඔබ දන්නවා ඇතමෙක් නොයෙක් අවලාද නැගුවත් අපි කිසිවිටකත් මේ රට වෙනුවෙන් හිතාමතා වැරදි තීන්දු අරගෙන නැහැ. ගන්නෙත් නැහැ. ඒ නිසා කාටවත් ඔබව වැරදිකරුවන් ලෙස හඳුන්වන්න බැහැ. සමහරු අපට අපහාස කරනවා. ඔවුන් ඒ අවලාද නඟන්නේ හරියට ඒවායේ දිග පළලවත් දන්නෙ නැතිවයි. කොවිඩ්වලින් පසුව සිදුවුණු ආර්ථික විපර්යාස ගැන ඔබට වැටහීමක් ඇති. ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙනවිත් ජනතාවගේ ජීවිත බේරන්නයි අපි ප්‍රමුඛත්වය දුන්නෙ. හැබැයි ඊළඟට ආපු ආර්ථික අභියෝගය අදටත් අපි හැමෝටම විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

මේ ජනතා පීඩනය තමයි ඇතමෙක් වැරදි විදියට ප්‍රයෝජනයට ගත්තෙ. සමහරු අදටත් මිනිස්සු උසිගන්වනවා. හැබැයි රට වෙනුවෙන් වගකීම ගන්න කිවුවම බෑ කියනවා. ඒ නිසා අර කතාවත් තියන්නෙ පිස්සො කළබල උනාට දොස්තරලා කලබල වෙන්නෙ නෑ කියලා. අපේ ක්‍රමය රට වැටුණු තැනින් ගොඩගන්න එක මිසක් ආයේ මේ රට ආපස්සට ඇදලා දාන ක්රමය නෙමෙයි. ගිනි තියන්න ලේසියි හදන්න අමාරුයි. අපි හිටගන්න ඕනි හදන පැත්තෙ මිසක් රට ගිනි තියන පැත්තෙ නෙමෙයි. මේ වයඹ පළාතේ ජනතාව භීෂණය ගැන හොඳට දන්නවා. ඒවා ගැන අපි අමුතුවෙන් මතක් කළයුතු නැහැ. මට මතකයි ඉස්සර අපි මේ පළාත්වල නැවතිලා ඡන්ද කළේ. සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා අපි හඳුනන්නෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් කාලේ ඉඳන්. ඒ නිසා ඔබට මතක ඇති මේ ප්‍රදේශ තිබුණ තත්ත්වයෙන් ගොඩගන්න අපේ ආණ්ඩු කාලේ මොනවගේ මැදිහත්වීමක් ද කළේ කියලා.

මට මතකයි ඇතැම් මංමාවත් පිළිසකර කරද්දි සමහර තැන්වල ඔරුවෙන් තමයි ගමන තිබුණේ. අපි පුළුවන් විදියට ඒ හැමතැනටම පාළම් දැම්මා. දූපත් යා කළා. යටිතල පහසුකම් සංවර්ධනය කළා. හැබැයි නොකෙරුණු වැඩකොටසකුත් තියෙනවා. ඒවා ඉටුකරමින් ඉද්දි තමයි අපිට මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ පළාතේ වැඩිපුර ඉන්න ධීවර ජනතාව. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නිරත විශාල පිරිසක් ඉන්නවා. ඉන්ධන නිසා ධීවර ජනතාවත් පොහොර නිසා කෘෂිකර්මානතයේ නිරත ජනතාවත් පහුගිය කාලේ බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. මේ පළාතේ විතරක් නෙමෙයි රටේ හැම තැනම එහෙමයි. ඉස්සන් වගාවත් අද දුෂ්කර තැනකට ඇද වැටිලා. ඒ අයට උදව් ඕනි. අපි ඒ අයට උදව් කරොත් විශාල පිරිසකට ආර්ථික ප්‍රතිලාභ ලබන්න පුළුවන්. අනෙකුත් කර්මාන්තත් එහෙමයි. වැඩපිළිවෙලක් ඇතිව ක්‍රමානුකූල ගමනක් ගියොත් මේ ව්‍යාපාර දියුණු කරන එක අපහසු නැහැ.

සියයට සියයකින් නැතත් ඔබට තිබෙන ප්‍රශ්න අපි එකින් එක අද විසදමින් යනවා. අපි පිළිගන්නවා මේ ප්‍රශ්න අපි විසඳන්න උවමනායි. හැබැයි ජනතාව කුලප්පු කරන ප්‍රශ්න විචාරය කර පමණින් මේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නෙත් නෑ. උත්තර ලැබෙන්නෙත් නෑ. සමහරු මම දක්කා උත්තර කියලා ආයෙමත් ප්‍රශ්නෙම කියනවා. තවත් සමහරු ප්‍රශ්න වෙන විදියකින් කියනවා. හැබැයි හැම ප්‍රශ්නයටම මුහුණ දෙන්න වෙන්නෙ ප්‍රශ්නවලට බය නැතිව රටේ අභියෝගය භාරගන්න කණ්ඩායමට විතරයි. අදත් ඊට සුදුසුම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විතරක් බව අපි ඔබට මතක් කරනවා. ඒකයි අපි කියන්නෙ මැතිවරණයකට වුණත් අපි ලෑස්තියි කියලා. සමහර දේවල් අපට වළක්වන්න බැරිව වැරදියට සිදුවුණ දේවල් තියෙනවා. ඒවා වැරදියි. සමහර දේවල් ප්‍රජාතන්ත්‍රවාදීව කරන ගරු කිරීම නිසා අපට වළක්වන්න බැරිව වැරදුණු දේවල් තියෙනවා. හැබැයි ඒ එකක්වත් අපේ පරාජයන් නොවන බව හොඳින් මතක තබාගන්න.

මේ සභාවේ සිංහල දෙමළ මුස්ලිම් හැම සහෝදරයෙක්ම ඉන්නවා. ඔබ මේ ප්‍රදේශයේ සමගියෙන් ජීවත්වෙනවා. අපි පක්ෂ පාට, ජාති ආගම්, කුල මල, භේද එක්ක ඉදිරියට ගියොත් මේ ප්‍රශ්න එකකටවත් පිළිතුරු හොයන්න බැරි වෙනවා. ඒකයි අපි ඔබට අද යෝජනා කරන්නෙ එක්ව නැගිටිමු කියලා. එක්ව නැගිටිනවා විතරක් නෙමෙයි, අපි නැගිටින්නෙ මේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගයෙන් මේ රට එතෙර කරන වැඩපිළිවෙල එක්ක බව අපි ඔබට විශ්වාසයෙන් මතක් කරනවා. ඒ නිසා ඒ ගමන එකාවන්ව රට වෙනුවෙන් ඉදිරියට යමු. යැයි අපි ඔබට ආරාධනා කරනවා. අවසන් වශයෙන් මේ ජනහමුව සංවිධානය කළ අපේ හිතවත් සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිතුමා ඇතුළු මේ ප්‍රදේශයේ සියලුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන්ටත් ඔබ සැමටත් අපගේ ප්‍රණාමය පුද කරනවා.