― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsPolitical'රනිල් ගෝ හෝම්' හා 2023 පළාත් පාලන මැතිවරණය

‘රනිල් ගෝ හෝම්’ හා 2023 පළාත් පාලන මැතිවරණය

රනිල් එළවන වැඩේ මැතිවරණය හරහා සිදු වෙයිද ?

රනිල් බලයට පැමිණි සැණින් අරගලයට කුඩු වෙන්න ගහපු බව අප සියල්ලන්ම දනිමු. ඒ විතරක් නෙමෙයි පා ගමනක්, විරෝධතාවයක් පවා පවත්වන්නට රනිල් ඉඩ තැබුවේ නැත. පොලිසිය දහස් ගණනින් කැඳවා පොදු ජන විරෝධතා මර්ධනය කළේය. අරගලකරුවන් සොය සොයා රිමාන්ඩ් කිරීමට කටයුතු කළේය. වසන්ත මුදලිගේ තවමත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටී.

මේ සියල්ල මතින් මැතිවරණයක් කැඳවා ඇත. අරගලයට සම්බන්ධ පිරිස් ස්වාධීනව සහ කුඩා පක්ෂවලින් නාම යෝජනා දීමට සංවිධානය වෙමින් තිබේ. රනිල් සහ ජාරපක්ෂ ආණ්ඩුවට මෙය මරු පහරකි.

අරගලකරුවන් නොවේ මැතිවරණ අපේක්ෂකයන්

දැන් ඉදිරියට සිටින්නේ අරගලකරුවන් නොවේ මැතිවරණ අපේක්ෂකයන්ය. ප්‍රජාතන්ත්‍රවාදී සහ නීත්‍යානුකූල ලෙස මැතිවරණ ක්‍රියාදාමයෙහි සිටින්නන්ය. ඔවුන්ට අපේක්ෂකයන් ලෙස වරප්‍රසාද තිබේ. මැතිවරණයට අදාලව රැස්වීම්ද කැඳවිය හැක. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ශබ්ද විකාශන යන්ත්‍රද ඇති තරම් භාවිතා කළ හැක. සෑම අපේක්ෂකයෙකුටම එක් කාර්යාලයක් තමන්ට අයිති වසමේ ආරම්භ කළ හැක.

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මැතිවරණය

රනිල් ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය මෙම මැතිවරණ සමය තුළ වඩාත් ඉහළට එසවීම ස්භාවිකය. රැස්වීම් මැතිවරණය ඉලක්ක කළත් ආණ්ඩු විරෝධය රැස්වීම්වලදී මතුවීමත් ස්භාවිකය. “රනිල් ගෝ හෝම්” යනුවෙන් මහා හඬක් එම රැස්විම්වලදී මතුවිය හැක. මැතිවරණ කාර්යාලය තුළ “රනිල් ගෝ හෝම්” යනුවෙන් සඳහන් උනතොත් එය පොලිසියට ගලවා ඉවත් කළ නොහැකිය.

මර්ධනයට වැටක්

ආණ්ඩු විරෝධය නිසා අත් අඩංගුවට පත් වන්නේ අරගලකරුවන් නොවේ. මැතිවරණ අපේක්ෂකයන්ය. එසේ උනහොත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ආණ්ඩුව එල්ළ කරන ප්‍රහාරයක් ලෙස එය අර්ථ ගැන්වෙයි. මානව හිමිකම් කොමිසමෙන් නොනැවති ජිනීවා දක්වා මේ මර්ධනය පිළිබඳ කතාව යනු ඇත. පාරේ අරගල කළ තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට පිවිසෙනකොට එයට බාධා කිරීම ශිෂ්ඨ ලෝකය කිසි සේත් අනුමත නොකරනු ඇත.

යළි රටම සැණකෙලියක්

මර්ධනය කළ විචිත්‍ර අරගලය මැතිවරණ ප්‍රචාරක කටයුතු හරහා නැවත ගොඩනැගෙනු ඇත. වීදි නාට්‍ය, සංගීත සන්දර්ශන, ඇතුලු බොහෝ ක්‍රියාකරකම් නැවතත් පාරට එනු ඇත. සියල්ලම නවතාලිය නොහැක. ඒ නව තාරුණ‍යයේ මැතිවරණ ප්‍රචාරක මාදිලියයි. මේ සියල්ල මැද “රනිල් ගෝ හෝම්” යැයි මිනිස්සු නොකියා සිටීද ?

නාම යෝජනා භාරගෙන මැතිවරණය පැවැත්වෙන දිනය කල් දැම්මොත් ?

රනිල් ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුවට මෙය තරම් තවත් අවාසි සහගත දෙයක් නැත. නාම යෝජනා බාරදුන් විකල්ප කණ්ඩායම්වලට මෙය අනගි අවස්ථාවකි. ආණ්ඩුවට එරෙහි විරෝධතා, මැතිවණ ක්‍රියාදාමයත් සමඟම ඉදිරියට ගෙනයාමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනු ඇත. රටම “රනිල් ගෝ හෝම්” විරෝධතා ප්‍රමුඛ මැතිවරණ ක්‍රියාදාමයක් සහිත කාලයකට යාමේ අවස්ථාවක් පවතී. නාම යෝජනා බාරගෙන මැතිවරණය මාස 6ක් පමණ කල් ගියහොත් එම කාලය පුරාම මැතිවරණ කාලයකි.

නිෂ්ප්‍රචණ්ඩත්වය රැක්කොත්

මා විසින් 2022 “ගෝඨා ගෝ හෝම්” අරගලයට පෙරත් එම අරගලය තුළත් එම අරගලයෙන් පසුත් දිගටම පෙනී ඉන්නේ නිෂ්ප්‍රචණ්ඩත්වය වෙනුවෙනි. 2023 පළාත් පාලන මැතිවරණයෙදී කුමන සටන් පාඨ එළියට ආවත් ප්‍රචණ්ඩත්වයට සුලු හෝ අවස්ථාවක් නොදෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. නිෂ්ප්‍රචණ්ඩත්වය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයේ මාවතයි.

2023 රනිල් ගෙදර යවන වසර වෙයිද ?

මැතිවරණය කැඳවීමත් අරගලකරුවන් මැතිවරණයට පිවිසීමත් හේතුකොට ගෙන රනිල් ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව මර උගුලක සිර වී ඇති බව පෙනෙයි. ආණ්ඩු විරෝධය හැකි වැර යොදා මර්ධණය කරගෙන සිටීමට රනිල්ට හැකි උනත් මැතිවරණය සහ එහි අපේක්ෂකය්න්ට ලැබෙන අවස්ථාව හරහා තව දුරටත් විරෝධය මර්ධනය කිරීමට රනිල්ට ඉඩ නොලැබෙනු ඇත. එය කොතරම් දුරට ඉහළට එසවී රනිල් ගෙදර යවන තැනට වැඩ සිද්ද වෙයිද නැද්ද යන්න අනාගතයට බාරය. “2023 රනිල් ගෝ හෝම්” සහ “2023 පළාත් පාලන මැතිවරණය” දෙකම එකක් වෙයිද යන්න ජනතාව තීරණය කරනු ඇත.

අරගලය භාවිතා කර මැතිවරණවලට පිවිසීම.

අරගලය කලා යැයි පවසමින් කිසිවෙකු ඡන්දය ඉල්ලන්නේ නම් එය සුදුසු නොවේ යැයි යන්න මාගේ පුද්ගලික මතය වේ. 2023 අරගලය පොදු ජන අරගලයකි. එය මේ රටේ සමස්ථ ජනතාවට අයිතිය. මා විසින් මෙම ලිපිය සකස් කළේ අරගලයේ නියුතු කණ්ඩායම් මැතිවරණයට පිවිසෙනු ඇති නිසා ඒ මත කෙරෙන උපකල්පන මතය.

(චාමර නාකන්දල)