― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශාෆ්ටර්ගේ DNA පරීක්ෂණයේදී ආගන්තුක ජෛව සාම්පලයක් හමුවෙයි

ශාෆ්ටර්ගේ DNA පරීක්ෂණයේදී ආගන්තුක ජෛව සාම්පලයක් හමුවෙයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වූ ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සඳහන් කළේය.

මරණකරු භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ මෙසේ අනෙක් ආගන්තුක ජෛව සාම්පලය ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් සතුව ඇති මරණකරුගේ ශරීර කොටස් සාම්පල් අධිකරණය දැනුම් දෙනතුරු සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් එය විනාශ නොකරන ලෙසත් ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය.

මරණය වූ ස්ථානයට ගිය පුද්ගලයන් හා සැකකරුවන් සිටී නම් ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඔවුන් කැඳවන ලෙසට රජයේ රස පරීක්ෂකවරයා විසින් නියෝගයක් සිදු කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත පැවසීය.

අදාළ ඉල්ලීම අනුව ෂාෆ්ටර් මහතාගේ ඝාතනය වූ දින එම ස්ථානයේ ගැවසුණු බොරැල්ල කනත්තේ සේවකයන් දෙදෙනා, මරදාන පොලිසියේ සොකෝ නිලධාරින් ඇතුළු සිව්දෙනකුට ලබන 23 වැනි දින ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මරණකරු රෝහල්ගතව සිටියදී ප්‍රතිකාර ලැබූ ඇඳ ඉහපතේ අංකය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් නොවන බැවින් 2022/12/15 පස්වරු 3.30ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මරණකරුගේ ඇඳ ඉහපත් වාර්තාව හා ස්කෑන් පරීක්ෂණ දෙකට අදාළ ලේඛන ලබා දෙන ලෙසට ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෙත නියෝගයක් ලබා දෙන මෙන් මරණකරුගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේදී ලබා ගන්නා ලද ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇත්නම් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෘතදේහය සම්බන්ධයෙන් ක්‍රියා කළ වෛද්‍ය නලින් යන අයගේ වාර්තා හා බොරැල්ල පොලිසියේ සොකෝ නිලධාරින්ගේ ඡායාරූප පිටපත් කරන ලද සී.ඩී. තැටියක් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා රජයේ රස පරීක්ෂක භාරයේ ඇති යම් යම් ශරීර කොටස් සුරක්ෂිතව පවත්වාගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

2022/12/15 දින කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ ඇද ඉහපතක් යටතේ ප්‍රතිකාර ලැබූ මරණකරුට සිදු කළ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළාය. එමෙන්ම මෘතශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අවස්ථාවේ, ඉන් පෙර හා පසු ලබාගත් ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග නිකුත් කෙරිණි.

තවද බොරැල්ල සොකෝ නිලධාරින් විසින් මරණය සම්බන්ධයෙන් ලබාගත් ඡායාරූප සහ යම් හෙයකින් වීඩියෝගත කර ඇත්නම් එම වීඩියෝ දර්ශනද වහා අධිකරණය වෙත භාර දෙන ලෙසට බොරැල්ල පොලිසියේ සොකෝ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කෙරිණි.

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ ගැටලුසහගත බව හා මරණකරුගේ ජෛව සාම්පල් වෙත ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බවට කරුණු අනාවරණය වන බැවින් අදම මේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.

#mawrata