― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම කල් යයි

මුදල් අමාත්‍යංශ ලේකම්ට එරෙහි පෙත්සම කල් යයි

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මුදල් අමත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නොතිසි මත අධිකරණයට සහාය වීම සඳහා පෙනී සිටි නීතිපති සංජේ රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක තහනම් නියෝගය නිකුත් කළ අංක 69/2023 නමැති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල ලේඛන මෙම අධිකරණය හමුවේ ගොනු කර නොමැති බව පෙන්වා දුන්නා.

එම ලේඛන ගොනු කිරිම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එහිදී පෙත්සම්කාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය ජනතා පරමාධිපත්‍ය හා බැඳුණු නඩුකරයක් බැවින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

අදාල ලේඛන ලබන සතියේ ගොනු කරීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී නීතිපතිවරයා සඳහන් කළේ අදාළ ලේඛන ලබන සතිය තුළ ගොනු කිරීම අපහසු බවයි.

ඒ සඳහා අධිකරණ නිවාඩු කාලය අවසන් වීමෙන් පසු එලඹෙන දිනයක් ලබා දෙන ලෙසත් නීතිපතිවරයා අධිකරණය ඉල්ලා සිටියා. වගඋත්තරකාර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා ද සඳහන් කළේ මෙම ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කාලය අවශ්‍ය බවයි.

ඒ අනුව මෙම නඩුවට අදාළ ලේඛන තිබේ නම් ඒවා මැයි මස 8 වනදා ට පෙර ගොනුකරන ලෙස අධිකරණය නීතිපතිවරයාට නියම කළා. එම ලේඛන වලට අදාල ප්‍රති ලේඛන තිබේ නම් ඒවා මැයි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙසයි අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබූණා.

පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 අයවැය තුළින් වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 03 වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා.

එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබෙනවා.