― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෞදියේ ගෘහ සේවයට ගොස් දුක් විඳි තරුණියකගේ සංවේදී කතාව

සෞදියේ ගෘහ සේවයට ගොස් දුක් විඳි තරුණියකගේ සංවේදී කතාව

දරිද්‍රතාවය හේතුවෙන් වෙනත් විකල්පයක් නොමැති වීම හමුවේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ආදිවාසී තරුණියක් අද (03) උදෑසන යළිත් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඇය දඹාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පියා ඔත්පලව තම කුඩා නිවසෙහි සිටින අතර තරුණියගේ සැමියා හැර ගොස් සිටින බව සඳහන්.

ඔවුන්ට වයස අවුරුදු 5ක කුඩා දියණියක සිටින අතර ඇය දඹාන ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිනවා. සැමියා හැර යාමෙන් පසුව මෙම කාන්තාව තම මව සමග තම ජීවන අරගලය ගෙන යාමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වීම හේතුවෙනුයි ගම් ප්‍රදේශයේ විදේශ රැකියා තැරැව්කරුවෙකු මාර්ගයෙන් විදෙස් රැකියාවකට යාමට සැලසුම් කර ඇත්තේ.

එම පුද්ගලයා අවුරුදු 20ක් තිස්සේ දැන හඳුනන මරදාන ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් වෙත මෙම තරුණිය කැඳවා ගෙන ගොස් තිබුණා. එහිදී ඇය සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා යැවීමට කටයුතු සූදානම් කර තිබෙන අතර රැකියාවට යෑමට පෙර ඇයට රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබා දෙන බවටයි පවසා ඇත්තේ.

එහෙත් අවසානයේ එම රැකියා නියෝජිතවරයා ඇයට ලබා දී ඇත්තේ රුපියල් 64,000ක මුදලක් පමණයි. අනතුරුව මෙම තරුණිය ඇයගේ වැඩිමහල් සහෝදරිය ද සමග සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙරයි.

මේ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය.

මුලින්ම එරට දමාම් නුවර ගුරුවරියකගේ නිවසෙහි මාසයක් පමණ සේවයෙහි නිරත වුණා. මහල් 03 කින් සමන්විත එම නිවසෙහි සිටින දරුවන් ඉතාමත් දඟකාර ක්‍රියා වල නිරත වන බැවින් ඔවුන් බලා ගැනීම සහ නිවසෙහි අනෙකුත් වැඩ කිරීම අපහසු නිසා, එම නිවසෙහි මාසයක් පමණ සේවය කිරීමෙන් පසුව ඉවත් වීමට අවශ්‍ය බව දැන්වූවා. ඔවුන් මගේ මාසික වැටුප ගෙවා මාව යළිත් සෞදි අරාබියේ රැකියා නියෝජිතවරයා වෙත භාර දුන්නා. ඉන්පසුව මාව යළිත් වෙනත් නිවසක වැඩට ගිහිං දැම්මා. ඒ ගෙදරත් තට්ටු තුනක් තියෙනවා. ළමයි 06 දෙනෙකු සිටිනවා. ඒ ගෙදර බාබා මොනවා හරි පොඩි රැකියාවක් කරන්නේ. මම උදේ පාන්දර නැගිටලා රෑ වෙනකම් වැඩ කරනවා. ඒ ගෙදර මැඩම් හරිම සැරයි. එයා නිතරම ‘කුකුළි, කුකුළි, සුරා, සුරා’ කියනවා. ඒ කියන්නේ ඉක්මණට ඉක්මණට වැඩ කරන්න කියලා. ඒ මැඩම් මට නිතරම ගැහුවා. එයා නිතරම පයින් ගහන්නෙ. මාව කොණ්ඩෙන් ඇදලා බිම දාල පාගනවා. මට මේ රාමසාන් උත්සව සමයේ තවත් ගෙවල් දෙකක වැඩට අරං ගියා. ඒ අතරෙ මැඩම්ගෙ අම්මගෙ ගෙදරත් වැඩ කරන්න වුණා. එහිදී එයාගෙ මල්ලී මට විවිධ යෝජනා කළා. බලපෑම් කළා. එහිදී මට අවස්ථා පහකදී පමණ සිහිය නැති වුණා. ඒ අවස්ථාවලදී, ඔහු මගෙන් ඔහුගේ අවශ්‍යතා ඉටු කර ගෙන තියෙනවා.

මීට අමතරව චොකලට් වගයක් දීලත් මාව සිහි නැති කළා. ඒ අය කියන්නෙ මාව මෝහනයට පත් කරනවා කියලයි. මට බැරිම තැන මම ඒ ගෙදර අයට කිව්වා මාව ලංකාවට යවන්න කියල. මම ගෙදරටත් මං විඳින දුක් ගැන කිව්වා. පස්සෙ මට පඩි නොදී සෞදි අරාබියේ රැකියා ඒජන්සියට ගෙනත් භාර දුන්නා. එහිදී මට ඒජන්සිය භාර බාබා මට ගැහුවා. ඔලුවටත් ගැහුවා. ඒ සෞදි අරාබි ඒජන්සිය මාව ලංකාවට යවන්න රුපියල් ලක්ෂ 20ක් ඉල්ලුවා. ලංකාවේ ඒජන්සිය මාව ලංකාවට ගෙන්වා ගන්න රුපියල් ලක්ෂ 10ක් ඉල්ලුවා. මගේ අක්කටත් වෙලා තියෙන්නෙ මට වෙච්චි දේවල්මයි. නමුත් ඒවා ගෙදරට, ලංකාවට, ලෝකයට කියන්න එයාට ෆෝන් එකක් නැහැ. මේ වෙනකොට එයා මරල ද දන්නෙ නැහැ. අක්කටත් මගේ වයසෙ දුවෙක් ඉන්නවා. එයා යන්නෙන් ගුරුකුඹුරෙ ඉස්කෝලෙට. සෞදි අරාබියේ මේ වෙනකොට අහිංසක මිනිස්සු ළමයි දාල ඇවිත් ගොඩක් දුක් විදිනවා.

මෙම තරුණිය අද උදෑසන 09.05ට ගල්ෆ් ගුවන් සේවයේ ජී.එෆ්.- 147 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඇය මේ පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ පැමිණිලි කිරීමෙන් අනතුරුව මහියංගනය රෝහලෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බස් රථයකින් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු කියා සිටියේ.