― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට උපරිම සහය දෙනවා

අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට උපරිම සහය දෙනවා

‘මේ අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා හැකි උපරිම දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව’ ජාතන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදීය.

පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.

එසේම නැවත ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සඳහා අවශ්‍ය මූලික සාධනීය පියවර රැසක් මේ වනවිට ගෙන තිබීම අගය කරන බව ද කෙන්ජි ඔකමුරා ප්‍රකාශ කළේය.

මේ අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ප්‍රමුඛ සමස්ත අධ්‍යක්ෂවරුන්ට මෙරට රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කර සිටින බව කතානායකවරයා මෙහිදී IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයාට දන්වා සිටියේ ය.

එසේම, පවතින අර්බුදය විසඳා ගැනීමට ආර්ථික ස්ථායිකරණය සඳහා අවශ්‍ය දැඩි තීරණ ගැනීමට සිදුවූ බවද පාර්ලිමේන්තුව තුළින් ද ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කතානායකවරයා පෙන්වා දුන්නේය.

මනා විනිවිදභාවයකින් යුතු නව ආර්ථික දැක්මක් සඳහා පාර්ලිමේන්තුවේ අය-වැය කාර්යාලයක් පිහිටුවීම, දූෂණ විරෝධී පනතක් හඳුන්වා දීමට පියවර ගැනීම, නව මහ බැංකු පනතක් හඳුන්වා දීමට කටයුතු කිරීම ආදී වඩාත් සාධනීය පියවර රැසක් ඒ අනුව ගෙන ඇති බව කතානායකවරයා පෙන්වා දුන්නේ ය.

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි සහ නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක, සහකාර මහලේකම් හංස අබේරත්න සහ චේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් විසිනි.

කතානායකවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔකමුරා මහතා පාර්ලිමේන්තු සභාගර්භය නැරැඹීම සිදු කළේ ය.

අනතුරුව ඒ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් සමග සුහද සාකච්ඡාවක ද නිරත විය.