රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් මගින් පමණක් රුපියල් ලක්ෂ 288ක මුදලක් මේ වන විටත් වෙන් කර අවසන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. 2023 වසරේ රාජ්‍ය පොසොන් උත්සවය සහ මිහින්තලා පුද බිම මූලික කර ගනිමින් පැවැත්වෙන පොසොන් වැඩසටහන් සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බව පවසමින් විවිධ පාර්ශ්වයන් චෝදනා එල්ල කරමින් පවතිනවා.
මේ පිළිබඳව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම යන ආයතනවලින් කළ විමසීමේදී පහත තොරතුරු අනාවරණය වූ බව අදාළ නිවේදනයේ සඳහන්.
1963 වර්ෂයේ දී රංජිත් විජේවර්ධනගේ සංකල්පයකට අනුව එවකට ලේක්හවුස් සමාගම විසින් සිය ආගමික හා සමාජ මෙහෙවර වෙනුවෙන් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කර තිබෙනවා. එතැන් සිට වාර්ෂිකව පුරා වසර 59ක් ආලෝක පූජාවට, සති පිරිතට, පෙරහරට සහ චෛත්‍ය පින්තාරු කිරීම සඳහා මූල්‍යාධාර ලබාදීම සිදු කර තිබෙනවා.
2020 / 2021 කොවිඩ් කාල සීමාවේදී සහ 2022 වර්ෂයේ දී ද පිළිවෙළින් රුපියල් මිලියන 4.6ක්, රුපියල් මිලියන 2.3ක් හා රුපියල් මිලියන 2.9ක් වශයෙන් ආධාර ලබාදී ඇත. ලේක්හවුස් ආයතනය 2018 වර්ෂයේ සිට අඛණ්ඩ පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර, 2022 වර්ෂයේ මූල්‍ය අලාභය රුපියල් මිලියන 192ක්.
ලේක්හවුස් ආයතනය පාඩු ලැබීම හේතුවෙන් මෙවන් වැඩසටහන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමේ හැකියාවක් මේ වර්ෂයේ නොපවතින බවටයි කළමනාකාරිත්වය විසින් මිහින්තලා පොසොන් කමිටුව දැනුවත් කර ඇත්තේ. මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මිහින්තලා පොසොන් පෙරහර සඳහා පමණක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් රුපියල් ලක්ෂ 170ක ඇස්තමේන්තුවක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබුණා.
නමුත් අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ රටේ පැවති ආර්ථික දුෂ්කරතා හමුවේ පනවනු ලැබූ නව මූල්‍ය රෙගුලාසි අනුව එතරම් විශාල මුදලක් වෙන් කිරීමට නොහැකි බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්මත වැය ශීර්ෂයට අනුව 2023 පොසොන් මිහිඳු පෙරහර සඳහා රුපියල් ලක්ෂ 31ක මුදලක් ලබාදීමට අනුමැතිය ලැබී ඇති බවයි.
එසේම 2019 වසරේ සිට 2023 වසර දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවති පොසොන් මිහිඳු පෙරහර සඳහා අමාත්‍යාංශය විසින් දරණ ලද වියදම් වාර්තාවක් ද ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවට අනුව 2019 වසර සඳහා රුපියල් හතළිස් අට ලක්ෂ දස දහසක මුදලක් ද (4,810,000), 2020 වසර සඳහා රුපියල් තුන්ලක්ෂ අසූ දහසක මුදලක්ද (380,000), 2021 වසර සඳහා නව ලක්ෂ හතළිස් දහසක මුදලක් (940,000), 2022 වසර සඳහා රුපියල් විසි එක් ලක්ෂ පනස්දහසක මුදලක් ද (2,150,000) අමාත්‍යාංශ්‍ය විසින් මිහින්තලා රජමහා විහාරස්ථානයේ පොසොන් මිහිඳු මහා පෙරහර සඳහා ලබා දී තිබෙනවා.
තවද සියලු අමාත්‍යාංශවල අනුමත වැය ශීර්ෂවලින් 6%ක මුදලක් අඩු කොට වියදම් දැරීම සඳහා කැබිනට් තීන්දුවක් පවතින මොහොතක එය මෙම වැඩසටහන සඳහා බල නොපවත්වන පදනමින් ක්‍රියා කිරීමට කටයුතු කර ඇති බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවයේ වියදම් දැරීම සඳහා රුපියල් ලක්ෂ 100ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත නිදහස් කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි.
ජාතික පොසොන් උත්සවයේ පානීය ජල අවශ්‍යතාවය සහ සනීපාරක්ෂක ජල අවශ්‍යතාවය වෙනුවෙන් ජලය ඝන මීටර් 30,000ක් සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙනවා. එහිදී පොම්ප සවි කිරීම, දන්සැල් කලාප සඳහා ජල නළ දීර්ඝ කිරීම, අනුරාධපුර පූජා නගරය, මිහින්තලය හා තන්තිරිමලය පුදබිම් අවට ජල කරාම 400ක් ස්ථාපනය, ජල බවුසර් මගින් ජලය සැපයීම, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන තාවකාලික වැසිකිළි පද්ධති සඳහා ජල නළ දීර්ඝ කර ජලය සැපයීම, බැතිමතුන් සහ සිල් සමාදන් වන සැදැහැවතුන් එකතුවන ස්ථාන සඳහා ජල ටැංකි සහ කරාම පද්ධති ස්ථාපිත කිරීම හා මිහිඳු පෙරහරෙහි ගමන් කරන අලි ඇතුන් සඳහා පෙරහර මාර්ගයේ ඇති යකඩ ටැංකි සඳහා ජලය සැපයීම ආදී කාර්යයක් වෙනුවෙන් වැට් රහිතව රුපියල් ලක්ෂ 157ක මුදලක් ආයතනිකව දැරීමට කටයුතු කරන බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා තහවුරු කළේ.
එමෙන්ම මිහින්තලය, තන්තිරිමලේ, සඳ හිරු සෑය ඇතුළත් අනුරාධපුර පොසොන් කලාපය ඉදි කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.
ජූනි 02 වන දිනට යෝජිත මිහින්තලා පෙරහර සඳහා සෙබළුන් සහ නිලධාරීන් 384 දෙනෙකු අනුයුක්ත කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා. එසේම 2023 අප්‍රේල් 18 වන දින සිට මැයි 31 වන දින දක්වා මිහින්තලා පුද බිමේ විවිධ කටයුතු සඳහා යුද හමුදා සෙබළුන් 146 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබළුන් 30 දෙනෙකු යොදවා ඇති බවටයි අනාවරණ වන්නේ.
මැයි මස 22 වන දින සිට 28 දින දක්වා යුද හමුදාවේ සෙබළුන් 410 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් 525 දෙනෙකු මිහින්තලා පූජා භූමියේ සංවර්ධන කටයුතු සහ පොසොන් වැඩසටහනේ සෙසු කාර්යයන් සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතා සඳහන් කර සිටින්නේ 2023 මැයි 24 වන දින මිහින්තලා රජ මහා විහාරස්ථාන මැද මළුවේදී සහ 2023-05-25 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලද පොසොන් කමිටු රැස්වීමේ දී දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල මැදිහත්වීමෙන් කාර්යයන් රැසක් ඉටු කිරීමට එකඟත්වය පළ කළ බවයි.
ඒ අනුව උඩ මළුවේ සහ මිහින්තලය පුදබිමේ සිල් සමාදන්වන 60,000ක් පමණ වන උපාසක උපාසිකාවන් වෙනුවෙන් දහවල් දානය පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල දායක කරගෙන සිදු කරනු ලබනවා. එසේම සිල් සමාදන් වූ සැදැහැවතුන් සඳහා සවස ගිලන් පස ලබාදීම ලංකා බැංකුව විසින් සිදු කරනු ලබයි.