පසුගිය ජනාධිපතිවරණය සමයේ සුදු වෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යාම කොල්ලකෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කළ තිබෙන නඩුව දෙසැම්බර් මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන සාක්ෂිකරු වන සකල වල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා පදිංචි ලිපිනය හැරගොස් ඇති බවත් ඔහු සොයා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් සදහන් කළා.
ඔහු පිළිබඳව විධිමත් සොයා බැලීමක් සිදු කර නොමැති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවා. එබැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් එම සාක්ෂිකරු පිළිබඳ සොයා බලා අධිකරණය හමුවට වාර්තාවක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂිකරු පිළිබඳ සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. ඉන් නඩුව දෙසැම්බර් මස 05 වනදා කැඳවීමටද දින නියම වුණා.