― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsඅලුත් ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගේනවා

අලුත් ආර්ථිකයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගේනවා

රට දියුණු කිරීමට නම් ලෝකය පිළිගන්නා නීති අවශ්‍ය බවත් පසුගිය මාස 14 තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතර
තවත් නීති 62ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘වට්ස් නිව්’ තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක්වෙමිනි.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

එසේම රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බවයි සඳහන් කළේ.

පොදූ මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවෙට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලුතින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කිරීම, සංචාරක ව්‍යාපාරයට අදාළ නව නීතියක්, දේශුගණික විපර්යාස වළක්වා ගැනීම පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජ, ශ්‍රීපාද අඩවිය, හෝට්න් තැන්න, වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමග එම කටයුතු ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ 1944දී පමණ හඳුන්වා දුන් නීති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට ද නව නීති රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බව පැවසීය.

මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්‍රව ක්‍රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකි වන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක් බවද පැවසීය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකි බවද අවධාරණය කළේය. ‍

කිසිවෙකුට මෙම නීති සීමා කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ විභාග කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නමුත් මේවා නවත්වා දමා ජනතාවට තව දුරටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය.

මෙම කටයුතු මානව හිමිකම් උල්ළංඝනය කිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් සූදානම් වනවා නම් පළමු මානව හිමිකම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවැන්න දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම බවද පැවසීය.