හම්බන්තොට වරායේ ඇති මෙතෙක් ආනයනකරුවන් විසින් නිදහස් කර නොගත් වාහන 1025ක් රේගු භාරයට ගෙන විකිණීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි.
මෙරටට ගෙන්වන ලද වාහන, ආනයනකරුවන් විසින් මාස 3-6ත් අතර කාලයකදී නිදහස් කරගත යුතු වුවත් මෙතෙක් නිදහස් කර නොගත් එම වාහන රේගු පනතේ 109 වැනි වගන්තිය යටතේ බලය යොදා ගනිමින් විකිණීමට හෝ ටෙන්ඩර් කැඳවා නියමිත මුදල් අයකර ගැනීමට හෝ හැකියාව ඇති බවත් අනතුරුව ඉතිරි මුදල් ආනයනකරුවන්ට ලබාදිය හැකි බවත් හෙතෙම කීවේය.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි වාහන අතුරින් වාහන 625ක් මාස හයකට වැඩි කාලයක් තිස්සේ වරායේ පවතින බවත් හෙතෙම කීවේය. එමෙන්ම, මෙම කිසිදු වාහනයක් රේගු වරදකට යටත් වී නොමැති බවද ඔහු පැහැදිලි කළේය. ඒ අනුව මාසයක් වැනි කලයකදී මේ වාහන නිදහස් කර නොගන්නේ නම් පනත අනුව ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසුවේය.
එමෙන්ම මෙම වාහන රේගු ආඥාපනතේ 109 වැනි වගන්තියට අනුව, කිසිදු රේගු නීති උල්ලංඝනය කිරීමක් සිදු කර නොමැති වුවද, නිදහස් කර නොගෙන ඇති මෙම වාහන ඉදිරියේදී වෙන්දේසි කිරීමට හෝ ටෙන්ඩර් පටිපාටියක් හරහා විකිණීමට කටයුතු කරන බව පුංචිහේවා මහතා පැවසීය. මෙරට නීතියට අනුව ආනයනය කරන ලද සියලුම භාණ්ඩ අදාළ බදු ගෙවීමෙන් පසුව ඒවා පැමිණ මාසයක් ඇතුළත නිදහස් කරගත යුතුයි. ආනයනකරුවන් එසේ කිරීමට අපොහොසත් වුවහොත්, භාණ්ඩ විකුණා රජයට අයවිය යුතු බදු අය කරගැනීමටත්, වරාය සහ ගබඩා ගාස්තු පියවා ගැනීමටත් රේගුවට නීතිමය බලතල තිබේ. සියලුම අදාළ බදු සහ ගාස්තු අඩු කිරීමෙන් පසුව ඉතිරි වන යම් මුදලක් වේ නම්, එය ආනයනකරු වෙත ගෙවනු ලබන බවද ඔහු සඳහන් කළේය.
ආනයනික භාණ්ඩ මාසයකට වැඩි කාලයක් නිදහස් කර නොගෙන පවතින විට ඒ පිළිබඳ ශ්‍රී ලංකා රේගුව දැනුවත් කිරීමට වරාය බලධාරීන් බැඳී සිටින බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය. මෙලෙස භාර නොගෙන ඇති වාහන පිළිබඳ රේගුව දැනටමත් දැනුවත් කර ඇති අතර, ඒවා ඉවත් කිරීමට (අපහැරණය කිරීමට) අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පැවසීය. ඇතැම් වාහන දිරා යෑමට ලක්ව තිබෙන බවත් මේ නිසා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බවද කීවේය. කෙසේ වෙතත්, නියමිත කාලය ඇතුළත තම වාහන නිදහස් කරගැනීමට නොහැකි වූයේ මන්දැයි සාධාරණ හේතු දැක්විය හැකි ආනයනකරුවන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට රේගුව සූදානම් බවද පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.


