― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරණවිරුවන් පිටරට විකුණන ජාවාරම්කරුවන්ට නීතිය තදවෙයි

රණවිරුවන් පිටරට විකුණන ජාවාරම්කරුවන්ට නීතිය තදවෙයි

අප රටට විශාල මෙහෙයක් සිදුකරන ලද ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම දිවිය තුළදී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද මිනිස් ජාවාරමකට ගොදුරු වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට හමුදා සාමාජිකයින් අනීතික අයුරින් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යොමුකර, කුලී හමුදා සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට ඇද දමා ඇති බවයි.

මෙම යුද පෙරමුණුට කටයුතු කරමින් සිටියදී අප රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති බවත් තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති මෙවන් රණවිරුවන් විදෙස් රටක කුලී හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණකි.

විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට ජාවාරම්කරුවන් විසින් ලබා දෙන ලද ව්‍යාජ පොරොන්දුවලට අනුව රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කලද ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මියගිය හෝ තුවාල ලැබු අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කර නැති බවට කරුණු අනාවරණය වී ඇති බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තවද යුද පෙරමුණෙහි යොදවන ලද අප රණවිරුවන් පිළිබඳව කිසිදු තොරතුරක් තම පවුල්වල සාමාජිකයන් වෙත ලබාදීමට ද ඔවුන් කටයුතු කර නැහැ.

රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට ජාවාරම්කරුවන් විසින් යොමුකරන ලද අප රණවිරුවන් පිළිබඳව ඒ අතුරින් තුවාල ලැබුවන් පිළිබඳව මෙන්ම මෙහිදී මියගිය අයවළුන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශයත් විදේශ කටයුතු අමාත්‍යාංශයත් විශාල උත්සාහයක් දරමින් සිටිනවා.

ජාවාරම්කරුවන් විසින් අප‍ විශ්‍රාමික රණවිරුවන් අනීතික අයුරින් ව්‍යාජ පොරොන්දු මත විදෙස් යුද සේවයේ කුලී හේවායන් ලෙස යොමුකර ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලා ඇති පසුබිම තුළ රටේ ජනතාව තවදුරටත් මෙම ජාවාරමෙහි කොටස් කරුවන් ලෙස හසු නොවන ලෙසත් සිය ආදරණීයන් පිළිබඳව සිතා කටයුතු කරන ලෙසත් ආරක්‍ෂක ලේකම්වරයා විශේෂ ඉල්ලිමක් සිදු කර තිබෙනවා.

ශ්‍රී ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදා ගැනීමට කටයුතු කර වටිනා ජීවිත අනතුරට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කරමින් අප රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ අයවළුන් කීහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් හෙලිකර ගන්නා තොරතුරුවලට අනුව මෙම මිනිස් ජාවාරම කරන ජාවාරම්කරුවන්ටත් ඒ හා සම්බන්ධ සමාගම්වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන උදව් කරන සියලු දෙනාටත් විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළා.