28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews“ෆිට්නස් හදා ගැනීම පහසුවක් වුණා”

“ෆිට්නස් හදා ගැනීම පහසුවක් වුණා”

අවිශ්ක ප්‍රනාන්දු

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පෙරේදා (2) කොළඹ ආර්⁣. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු තරගයෙන් ලකුණු 14ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අවිශ්ක පැවසුවේ තම ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගැනීම ක්‍රීඩා කිරීමට පහසුවක් වූ බවයි.

ශාරීරික යෝග්‍යතා ගැටලු හේතුවෙන් තරගාවලි කිහිපයක් අහිමි වූ අවිශ්ක සිය තෙවැනි එක්දින ශතකය වූ මෙය වාර්තා කළේ ඉනිම 7කට පසුවය. ඔහු දෙවැනි ශතකය වාර්තා කර තිබුණේ පසුගිය වසරේ පෙබරවාරි මස හම්බන්තොටදීය.

ශ්‍රී ලංකා පිල සහභාගි වූ බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ සංචාර අවිශ්කට අහිමි වූයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීමෙනි. යළිත් සිය ශාරීරික යෝග්‍යතාව වැඩි දියුණු කර ගත් අවිශ්ක මින් පෙර පැවැති ඉන්දීය පිලට එරෙහි තරගාවලියට එක් වූ අතර, එහිදී අර්ධ ශතක 2ක් වාර්තා කළේය.

“මගේ ෆිට්නස් ගැටලු නිසා සමහර තරග වගේම තරගාවලි පවා මට අහිමි වුණා. ඉතිං මම ඒකෙන් දෙයක් ගෙන මගේ තියෙන ෆිට්නස් වැඩි දියුණු කර ගත්තා. ඒකෙන් ඇත්තටම මට හරි පහසුයි තරගයකදී පන්දුවට පහර දෙනකොට. ඒ වගේම පන්දු රැකීමත් දෙකම කරන්න ලේසියි. මම හිතන විදියට ඒකෙන් මගේ පිතිකරණයට විතරක් නොවෙයි හැම දේටම ලේසියි” අවිශ්ක කියා සිටියේය.

විශේෂයෙන් පිතිකරණය සහ පන්දු රැකීම සම්බන්ධයෙන් පුහුණු වීම් නොකළ බවත්, ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු වීමේදී එම කටයුතු පහසු වන බවත් අවිශ්කගේ අදහසයි.

“ශාරීරික යෝග්‍යතාව නිසා මගේ පිතිකරණය විතරක් නොවෙයි, පන්දු රැකීමේ පවා දියුණුවක් මම දකිනවා. පන්දු රැකීමේ අංශය වැඩිදියුණු කර ගන්න මම විශේෂයෙන් මොනවත් කළේ නෑ. ෆිට්නස් එක හැදෙන කොට අනිත් දේවල් කර ගන්නත් ලේසියි. මේ ඔක්කොම ෆිට්නස් එක නිසා” ඔහු කියයි.

පෙරේදා (2) තරගයේදී පන්දු 115කට මුහුණ දුන් අවිශ්ක ලකුණු 118ක් රැස් කළේ හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ශතකය කරා යන ගමනේදී අවිශ්කගේ හොඳම සහායකයා වූයේ චරිත් අසලංකය. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 97කි. චරිත් පන්දු 62කින් ලකුණු 72ක් රැස් කළේය.

චරිත් සමඟ වසර 15ක් පමණ ක්‍රීඩා කර තිබීම ඉනිම ගොඩනැඟීමට පහසුවක් වූ බවත්, දෙදෙනාගේ පිතිකරණය ගැන දෙදෙනාම දන්නා නිසා පිටිය මැදදී හොඳ සබඳතාවක් ගොඩනැඟුණු බවත් පවසන අවිශ්ක මෙය කණ්ඩායමටත්, ඔවුන් දෙදෙනාටත් වාසියක් වූ බව කීය.

මේ අතර, තරගාවලියේ පළමු තරගය ජය ගැනීම ඉතා වැදගත් බව කී අවිශ්ක තරගාවලියේ ඉතිරි තරග දෙක ක්‍රීඩා කිරීමට එය පහසුවක් බවත්, මේ තරගය සියලු දෙනා හොඳට කළ නිසා තරගය ජය ගැනීමට හැකියාව ලැබුණු බවත් පවසයි.

ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 301ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 288ක් පමණි. එක් අවස්ථාවක කඩුලු 2කට ලකුණු 166ක් රැස් කර ප්‍රබල තත්ත්වයක පසු වූ දකුණු අප්‍රිකා යළිත් ඇද බැඳ තබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

තරගයෙන් පසු නායක දසුන් ශානක පැවසුවේ මෙය ඉතා හොඳ ජයග්‍රහණයක් බවත්, අවසානයේ ඔවුන් ක්‍රීඩාවට අවතීර්ණ වුවත් පන්දු යවන්නන් එය ආපසු හරවා ගත් බවත්ය. දෙපිල අතර, දෙවැනි එක්දින තරගය අද (4) පැවැත්වේ.

 

 

නිරෝෂාන් ප්‍රියංකර