28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෝඩුකාර මහීෂගේ මහිමයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කෝඩුකාර මහීෂගේ මහිමයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

වසර අටකට පසු ද.අප්‍රිකාවට එරෙහිව ලැබූ එක්දින තරගාවලි දිනුම

සිය මංගල අන්තර්ජාතික තරගයට ක්‍රීඩා කළ 21 හැවිරිදි මහීෂ තීක්ෂණ වාර්තා පොත් අලුත් කරමින්, සංචාරක දකුණු අප්‍රිකා පිලට එරෙහිව ඊයේ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි හා තීරණාත්මක දිවාරාත්‍රි එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට ලකුණු 78ක විශිෂ්ට ජයක් අත් කර දීමට සමත් විය. මේ ජයග්‍රහණයත් සමඟ වසර අටකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ 2-1ක් වශයෙනි. මීට ප්‍රථම අවසන් වරට ශ්‍රී ලංකාව එක්දින තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරාජය කළේ 2013 වසරේදීය. 

ශ්‍රී ලංකාව දුන් ලකුණු 204ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා පිලේ ඉනිම ලකුණු 125කට සීමා කරමින් කඩුලු 4ක් දවා ලූ මේ යොවුන් පන්දු යවන්නා සිය පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම ජැන්මන් මාලන් පිටියෙන් ඉවත් කළ අතර, එවැනි දස්කමක් පෑ සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට පත් විය. ඊට පෙර තිලාන් තුෂාර, චරිත බුද්ධික හා කෞශාල් ලොකුආරච්චි ඒ දස්කම පෙන්නුම් කළහ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේදී කඩුලු 4ක් දවා ලූ පළමු දඟපන්දු යවන්නා ලෙසත් වාර්තාවක් තැබුවේය.

ඕවර 9ක් නිමා වන විට කඩුලු 4ක් දැවී ලකුණු 45ක් ලබා සිටි දකුණු අප්‍රිකා ඉනිම එහෙම පිටින්ම උඩුයටිකුරු වූයේ 10 වැනි ඕවරය යැවීමට මහීෂ කැඳවීමත් සමඟය. දකුණු අප්‍රිකා පිලේ ප්‍රබල පිතිකරුවන් 6ක්ම ලකුණු 54ක් ඇතුළත පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර, තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් පෑ චරිත් අසලංක 22 වැනි ඕවරය යවමින් පළමු පන්දුවෙන්ම ඇන්ඩිලි පෙලුක්වායෝ දවා ගැනීමට සමත් වීම කැපී පෙනිණි.

දකුණු අප්‍රිකා පිලට ලකුණු 100 පසු කිරීමට හැකි වූයේ අගපෙළ පිතිකරුවන්ගේ පිහිටෙනි. මහීෂ කඩුලු 4ක් දවා ගනිද්දී චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාලූහ. පිත්තෙන් ද කැපී පෙනෙන දස්කම් පෑ චමීර තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර, චරිත් අසලංක තරගාවලියේ වීරයාට හිමි සම්මානය හිමි කර ගත්තේය.

කාසියේ වාසිය ලැබීමෙන් පසු පළමුව පන්දුවට පහර දීමට නායක දසුන් ශානක තීරණය කළ ද, ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට දකුණු අප්‍රිකානුවෝ ඉඩ නොතැබූහ. ප්‍රහාරාත්මක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 10කට දවා ගැනීමට ඊයේ තරගයේදී නායකත්වයේ වැඩ බැලූ දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. අවිශ්ක සමඟ ඉනිම ඇරඹූ දිනේෂ් චන්දිමාල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 9ක් පමණි. මේ තරගාවලියේ පළමු වරට කණ්ඩායමට එක් වූ චන්දිමාල් ඊයේ ක්‍රීඩා කළේ ඔහුගේ එක්දින තරග දිවියේ 150 වැනි තරගයයි.

ශ්‍රී ලංකා පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 64ක්ව තිබියදී ධනංජය ද සිල්වා සමඟ එක් වූ චරිත් අසංලක ඉනිම පිළිසකර කිරීමට දැඩි උත්සාහයක නිරත විය. ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ ඔහුට පිට පිට තුන්වැනි වරටත් අර්ධ ශතකයක් රැස් කිරීමේ අවස්ථාව ඊයේ මඟහැරී ගියේ ලකුණු 3කිනි. ටාබ්‍රෙස් ෂම්සිගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර, ඊට පෙර ධනංජය ද සිල්වාගේ ඉනිම ලකුණු 31කට සීමා කිරීමට ඒඩ්න් මාක්‍රම් සමත් විය.