දකුණු කොරියාවේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමඟ සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබෙනවා.
පසුගියදා (03) අලුයම් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර පොලීසිය පැවසුවේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ පමුණුගම පදිංචි බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමැති 29 හැවිරිදි විවාහක එක් දරු පියෙකි.
චතුරංගගේ මරණය ගැන ඔහුගේ බිරිඳ මෙලනි වාසනා පවසන්නේ මෙවැන්නක්,
“මමයි චතුරංගයි මීට වසර තුනකට ඉහතදී විවාහ වුණේ. එයා අවුරුදු දෙක හමාරක් ජපානයේ සේවය කළා. එයා ජපානයේ ඉඳලා ලංකාවට ආවේ තාත්තා අසනීප වුණු නිසයි. ඒ ඇවිත් තාත්තගේ එළවළු ව්‍යාපාරයට උදව් කරමින් හිටියේ. අපේ පුංචි දුව අපිට ලැබිලා අවුරුද්දක් විතර යද්දී අපි සියලුම දෙනාගේ අනාගතය සැපවත් කරන්න හිතාගෙන තමයි එයා මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ 19 වැනි දින කොරියාවේ රැකියාවට ගියේ. එයා එහි වැව්වල වෑල්ඩර් කෙනෙක් විදියට තමයි සේවය කළේ. කොරියාවේ මොප්පෝ ප්‍රදේශයේ එයාගේ කාමරයේ එයා එක්ක තවත් දෙන්නෙක් ඉන්නවා. අල්ලපු කාමරයේ තවත් දෙන්නෙක් ඉඳලා තියනවා. ඒ දෙන්නගෙන් එක් අයෙක් නිතරම බීලා ඇවිත් චතුරංග එක්ක ආරවුල් ඇති කර ගන්නවා කියල එයා මට කිහිප වරක්ම කියලා තිබ්බා.
එයා එරට ඉන්න එයාගේ ඒජන්තවරයාටත් කියලා තිබ්බා ඉන්න තැන කරදරයි වෙනත් තැනක් හොයලා දෙන්න කියලා. ගිය ඉරිදා රෑත් මා එක්ක කතා කරද්දී චතුරංග කිව්වේ අල්ලපු කාමරේ ඉන්න අරුණ කියන කෙනාගෙන් කරදරයි කියලා. මම කිව්වා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න කතාවට යන්න එපා කියලා. එහෙම මම කිව්වට පස්සේ චතුරංග නිදාගන්න යනවා කියලා ෆෝන් එක තිබ්බා. එයා නිදාගෙන ඉද්දී තමයි අල්ලපු කාමරේ හිටපු කෙනා ඇවිත් පිහියකින් පපුවට ඇනලා තියෙන්නේ. චතුරංගගේ කාමරයේ එයත් සමග ඉන්න යහළුවෙක් එයාගේ ගෙදරට කතා කරලා මේ බව කියලා තිබ්බා. ඒ ගෙදර අය ඇවිත් තමයි අපිට මේ දරා ගන්න බැරි කතාව කිව්වේ.
එයා නිදාගෙන ඉද්දී පිහියෙන් පපුවට ඇන්නට පස්සේ එක පාරටම නැගිටලා මට පිහියෙන් ඇන්නා කියලා එතනම වැටිලා තියෙනවා. චතුරංග කාත් එක්කත් හිත හොඳින් ආශ්‍රය කරපු කෙනෙක්. එයාට මේ වගේ දෙයක් වුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ. දැන් මගෙයි දරුවගෙයි ලෝකය අඳුරු වෙලා. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පෙරේදා ගියා. එතකොට තමයි ඒ රටේ ඉඳලා ෆැක්ස් එකක් එතනට ආවේ චතුරංගට පිහියකින් ඇනලා නැති වෙලා කියන එක. චතුරංගට පිහියෙන් ඇනපු කෙනා එරට පොලිසිය අත්අඩංගුවට අරගෙන කියල කියනවා.”