කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරා අනතුර සිදුවූ දිනයේ දහවල් තම වට්ස්ඇප් ගිණුමේ තබා ඇති බව කියන සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රභාත් එරංග නම් රියදුරා තම වට්සැප් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.
“හෙට වෙනකොට මගේ නමට යටින් ලස්සන පොටෝ එකක් වැටිලා නමට උඩින් අමා මහ නිවන් සුව කියලා තිබ්බොත් උඹලට හිතෙන දේ කියන් යමන් මැරෙන්න කලියෙන් මම ඒ ටික කියවන්න හරි ආසයි.“
උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරා වන ප්‍රභාත් එරංග පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනතුර පිළිබඳ තොරතුරු හෙළි කර තිබෙනවා.
ඇමතිවරයා ඇතුළු පිරිස හැකි ඉක්මනින් කොළඹට පැමිණීමට උත්සාහ කරමින් සිටි අතර එම අවස්ථාවේදී සනත් නිශාන්ත මෝටර් රථයේ නිදාගෙන සිට ඇති බවයි රියදුරු ප්‍රකාශ කර ඇත්තේ.
“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න බලාගෙන ආවේ. ඒ වෙනකොට ඇමතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මංතීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ හැප්පුණා. ජීප් එක කන්ට්‍රොල් නැතුව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ රථය පැයට කිලෝ මීටර් 160ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇති සඳහන්.
අනතුරින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිසට සහ දකුණු පාදයට බරපතළ තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචිමාර්ග අනාවරණය කර තිබෙනවා.
මහ ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ සනත් නිශාන්තගේ දේහය මේ වන විට ආරච්චිකට්ටුව බලා රැගෙන යාම ආරම්භ වී තිබෙනවා. දේහය අද පස්වරුවේ ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි.