30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

පළමු විස්සයි 20න් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ ප්‍රථම තරගයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ (10) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකධාරා මධ්‍යයේ පැවති මේ තරගයේ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව ඕවර් 20කදී කඩුලු 5කට ලකුණු 163ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට ඕවර් 20කදී කඩුලු 6ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළේ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වූ සහයෝගයක් අහිමි වී ගිය පසුබිමක හය මාසයකට පසුව ශ්‍රී ලංකා විස්සයි20 තරගයකට ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා පිතිකරණයක නිරත විය. ඔහු පන්දු 54කදී හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමඟ නොදැවි ලකුණු 66ක් ලබා ගත්ත ද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. හුදෙකලා සටනක නිරත වුණු චන්දිමාල් එක් අන්තයක් රැක ගෙන ගෙන ආ සටනේදී හත් වැනි කඩුල්ල වෙනුවෙන් අගනා සම්බන්ධතාවක් ගොඩනඟමින් ඔහුට සහාය වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22ක් රැස් කිරීමට සමත් වුව ද අවසන් ඕවරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් ඉදිරිපිට ‌ශේෂ වී තිබුණු ලකුණු 42ක ඉලක්කය කිසි සේත් ස්පර්ශ කළ හැකි එකක් නොවීය. උඩපන්දු කිහිපයක් අත්හරිමින් දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ට අවස්ථා දුන්නද කිසිවකුත් එහි ප්‍රයෝජන ගත්තේ නැත. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව මුලින් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඕවර් 20 අවසානයේ ලකුණු 163ක් රැස් කර ගත්තේය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සම්බන්ධතාවක් ගොඩනැඟීමට ක්වින්ටන් ඩි කොක් හා රීසා හෙන්ඩ්‍රක්ස් සමත් වූ අතර, මේ දෙදෙනාම හයේ පහරක් හා හතරේ පහර 3 බැගින් එල්ල කොට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූහ. අංක එක පිතිකරු ඒඩියන් මක්රම් ලකුණු 48ක් හා ඩේවිඩ් මිලර් ලකුණු 26ක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ.

වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගත් අතර, ශ්‍රී ලංකා පිලේ සෙසු සියලු පන්දු යවන්නෝ ප්‍රතිවාදීන්ගේ නිර්දය ප්‍රහාරයට ලක් වූහ. දෙපිල අතර දෙවන විස්සයි20 තරගය හෙට (12) පැවැත්වේ.

දකුණු අප්‍රිකාව කඩුලු 5කට ලකුණු 163(20)

ඩි කොක් 36, හෙන්ඩ්‍රිකස් 38, මාරාක්රාම් 48, මිලර් 26 ( හසරංග 23/2)

ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 135 (20)

අවිශ්ක 11, චන්දිමාල් නොදැවී 66, දසුන් 16, චාමික නොදැවී 22