පුහුණුවේදී ක්‍රීඩකයන් 60කට මාසිකව ලක්ෂය බැගින් අමතර දීමනා
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රීඩා සංගම් 11කට රුපියල් ලක්ෂ 3622ක් පිරිනමයි. ලබන වසරේ පැවැත්වෙන ආසියා හා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉලක්ක කර මේ මුදල් ඍජුවම ක්‍රීඩා සංගම් 11ට වෙන් කර ඇති අතර, එම ක්‍රීඩා සංගම් උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ යෝජනා ජාතික ක්‍රීඩා සභාව වෙත දිය යුතු වේ. මෙම උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ ලබන වසරේ දෙසැම්බර් මාසය දක්වා ක්‍රීඩා සංගම් ව්‍යාපෘති ඉදිරිපත් කළ යුතු වේ.
ක්‍රීඩා සංගම් ඒ ඒ ක්‍රීඩාව යටතේ ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව වහාම මුදල් නිදහස් කරන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්, නීතිඥ අමල් එදිරිසූරිය මහතා අප කළ විමසීමකදී පැවැසීය. කොරෝනා තත්ත්වය හමුවේ වුවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පුහුණු කටයුතු පවත්වා ගෙන යෑමට ක්‍රීඩා අමාත්‍යාංශය පහසුකම් සලසා ඇතැයිද ඒ මහතා පැවසීය. එබැවින් ලබන වසරේ අන්තර්ජාතික මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩා උලෙළ දෙකේදී විශාල ප්‍රගතියක් අපේක්ෂා කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දිනමිණට කීවේය.
ගිවිසුම් ප්‍රකාරව වැඩිම මුදල් ප්‍රමාණයක් ස්කොච් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කර ඇති අතර, එම ගණන රු. 52,400,900කි. බොක්සිං ක්‍රීඩා සංවර්ධනයට රු. 50,124,540ක්, පැරා ක්‍රීඩා සංවර්ධනයට රු. 47,454,725ක්, ඔරු පැදීමේ ක්‍රීඩා සංවර්ධනයට රු. 42,143,294ක්, කබඩි ක්‍රීඩා සංවර්ධනයට රු. 41,887,800ක්, ටේබල් ටෙනිස් ක්‍රීඩා සංවර්ධනයට රු. 35,163,106ක්, ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩා සංවර්ධනයට රු. 27,391,800ක්, කරාටේ ක්‍රීඩා සංවර්ධනයට රු. 20,300,000ක්, බීච් වොලිබෝල් ක්‍රීඩා සංවර්ධනයට රු. 16,600,200ක්, වෙඩි තැබීමේ ක්‍රීඩා සංවර්ධනයට රු. 12,135,020ක් හා පිහිනුම් ක්‍රීඩා සංවර්ධනයට රු. 5,780,000ක් උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ මුදල් දී තිබේ.
මේ සදහා අදාළ සංගම්වල නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැදගත් වන අතර, වෙන් කරන ලද මුදලින් උපරිම ප්‍රයෝජන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමීම ඔවුන් සතු කාර්යයකි. දැනට ක්‍රීඩා සංගම් වෙත දී ඇති මුදල ඔවුන්ගේ ව්‍යාපෘති සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් මුදල් වෙන් කර දීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
මෙයට අමතරව වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කර අන්තර්ජාතික මට්ටමේ පදක්කම් දිනා ගත හැකි ලෙස ඔවුන් ශක්තිමත් කිරීම අරමුණින් මලල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ආදි ක්‍රීඩා 7කට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසිකව රුපියල් ලක්ෂය බැගින් දීමනාවක් පිරිනැමීමේ කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ද පසුගියදා පියවර ගත්තේය. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් උසස් දක්ෂතා සංචිතයේ පුහුණුවීම් සිදු කරන අතර ගිවිසුම ප්‍රකාරව රුපියල් විසිපන්දහක තවත් පෝෂණ දීමනාවක් ගෙවීමට සැලසුම් කර ඇත.
වසර 2022දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මෙහි ප්‍රමුඛ ඉලක්කයක් වන අතර, පදක්කම් දිනා ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා තෝරා ගෙන ඇත. ඉතිහාසයේ මුල් වරට මෙවැනි කොන්ත්‍රාත් ගිවිසුමක් ක්‍රියාත්මක වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගිවිසුම්වලට අත්සන් තැබීය.
ප්‍රින්ස් ගුණසේකර