― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිජේදාසට එරෙහි නඩු තීන්දුව කල් යයි

විජේදාසට එරෙහි නඩු තීන්දුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමට ගෙන තිබෙන තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පැමිණිල්ල තුළින් ඉල්ලා තිබෙන වාරණ නියෝගය නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ප්‍රකාශ කිරීම හෙට (16) දක්වා කල් තැබීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු වරයා අදාළ වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය අද පස්වරු 3.30 ට ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබුණා.

ඉන් අනතුරුව විනිසුරුවරයා නිවේදනය කළේ එම වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය හෙට දින ප්‍රකාශයට පත් කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ විරෝධතාවක් මතුකර තිබුණා.

එම විරෝධතාව තුළින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබුණේ මෙම නඩුවට පාදකවන කාරණය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවයි.

එම විරෝධතාව සම්බන්ධයෙන් සිය තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝගයට අගති රහිත වන ආකාරයට මෙම නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන බව සඳහන් කළා.

ඒ අනුව විජයදාස රාජපක්ෂගේ පාර්ශවයට ද මෙම නඩුවට අදාළව කරුණු දැක්වීමට අවසර දුන් දිසා විනිසුරුවරයා මෙම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝගය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමටද දෙපාර්ශවයට අවසර දුන්නා.

ඒ අනුව පැමිණිලිකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දැනටමත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වාරණය කළ පුද්ගලයෙකු සභාපති ධුරයට පත් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ඔහු අධිකරණ නියෝගයට පටහැනිව ගොස් කටයුතු කර ඇති බවත් සඳහන් කළා.

විජයදාස රාජපක්ෂ පක්ෂයේ සභාපති ධුරයට පත් කිරීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය වෙතින් වාරණ නියෝග ලබාගෙන තිබෙන අතර ඊට අදාළ නියෝග හෝ නොතීසි සිය සේවාදායකයා වෙත ලැබී නොමැති බවත් ඔහු සඳහන් කළා.

විජයදාස රාජපක්ෂ සභාපතිවරයා ලෙස පත් කෙරුනු විධායක සභා රැස්වීම පවත්වා ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ නියෝගවලට පටහැනිව බවත් එම නීතිවිරෝධී රැස්වීමේදී ගනු ලැබූ නීති විරෝධී තීරණ කඩුවෙල නඩුව හරහා නීත්‍යානුකූල කර ගැනීමට වග උත්තරකාර විජයදාස රාජපක්ෂ උත්සාහ කර තිබෙනවා.

මේ වනවිටත් අධිකරණය විසින් වාරණයට ලක් කර සිටින පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක විසින් අදාළ විධායක සභා රැස්වීම කැදවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මාසයකට පෙර තමා විජයදාස රාජපක්ෂට පක්ෂ සාමාජිකත්වය ලබාදුන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අප්‍රෙල් මස 21 වැනිදා ප්‍රකාශ කර තිබූ බවත් එම අවස්ථාව වනවිට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් දින සිට මාස හයක් ගතවන තුරු අපේක්ෂිත සාමාජිකයෙකු ලෙස සැලකෙන අතර වෙනත් පක්ෂයක සාමාජිකයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් පෙන්වා දුන්නා.

විජයදාස රාජපක්ෂ තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් ඔහුගේ මාසික වැටුපෙන් ඉකුත් මාර්තු මාසයේදී ද පොදුජන පෙරමුණේ සාමාජික ගාස්තු ගෙවා තිබීම තුළින් එම කරුණ මනාව පැහැදිළි වන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහි සාමාජිකයින්ටත් බරපතල හානියක් සිදු විය හැකි හෙයින් මෙම නඩුවෙන් ඉල්ලා සිටින වාරණ නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ ඒකමතිකව පත් කර ගෙන තිබෙන බවත් එය නීත්‍යානුකූල අයුරින් සිදුකර තිබෙන බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු එහි විධායක සභාව බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් සිදු කළ එම පත් කිරීමට විධායක සභාවේ කිසිවකු විරෝධය පලකර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා. පක්ෂයේ විධායක සභාවට පිටත සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු මීට විරෝධය පළ කර තිබූණද එහි කිසිදු පදනමක් නොමැති බවත් එබැවින් මෙම කරුණු සම්බන්ධයෙන් පුලුල් ව කරුණු සලකා බලන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවත් විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම අධිකරණය විසින් වාරණය කර තිබුණද ඔහුට පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කිරීම වාරණය කර නොමැති බව සඳහන් කළා.

ඒ අනුව සරත් ඒකනායක අධිකරණය විසින් වාරණයට ලක් කර තිබෙන බවට පැමිණිලිකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු වැරදි සහගත බවත් ඔහු පෙන්වා දුන්නා. මෙම නඩුකරය තුළ කිසිදු නීත්‍යානුකූල පදනමක් නොමැති බවත් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අධිකරණය අනතුරුව වාරණ නියෝගය පිළිබඳ සිය තීරණය ප්‍රකාශ කිරීම හෙට දිනට කල් තැබුවා.