ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස්වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ලංකා හොස්පිටල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස්කරුවා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් සිය කොටස් හිමිකාරීත්වය මහා භාණ්ඩාගාරය වෙත පැවරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තීරණය පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුව විසින් තමන් වෙත දැනුම් දීමක් සිදුකර ඇති බවයි ලංකා හොස්පිටල්ස් සමාගම සඳහන් කරනේ.
මෙම කොටස් පැවරීම සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව තමන් වෙත දැනුම් දී ඇති බවයි ලංකා හොස්පිටල්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලංකා හොස්පිටල්ස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන්, කොටස් 58,781,308 ක් හෙවත් 26.27% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි ජීවිත රක්ෂණ අරමුදල සතුව පවතී අතර, කොටස් 56,080,643ක් හෙවත් 25.07% ක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි සාමාන්‍ය රක්ෂණ අරමුදල සතුව ද පවතිනවා.
ඒ අනුව ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51.34%කට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් විසින් හිමිකම් කියනු ලබනවා.