ඇමැති එස්.එම්. චන්ද්‍රසේන
රට සංවර්ධනයෙන් සපිරි භූමියක් බවට පත්කිරීමට අවශ්‍ය අය-වැයක් ලබන නොවැම්බරයේ දී රජය ඉදිරිපත් කරන බව ඉඩම් ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
නොහිතන විප්ලවයක් ඇති කරන, රටට දැනෙන අය-වැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කැප වී කටයුතු කරමින් සිටින බව පෙරේදා (14) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති එස්. එම් චන්ද්‍රසේන මහතා- කැබිනට් මණ්ඩලය මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් වී කිලෝ එකකට රුපියල් 55ක් දීමට තීන්දු කළා. ගිය යහපාලන කාලයේදී අවසාන වශයෙන් මිල තිබුණේ වී කිලෝ එකක් රුපියල් 32ක් වගේ මුදලකට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ අප වී කිලෝ එකකට රුපියල් 52ක් දුන්නා. කෙටිකාලයක් තුළ නැවතත් වී මිල වැඩි කරන්න රජය සූදානම් වී සිටිනවා. නමුත් සමහර වෘත්ති සමිති කියා ගන්නා පිරිස ගොවි ජනතාව අවුස්සමින් මේ කරන වැඩ පිළිබඳ විවේචනය කරනවා. හැම හොඳ දෙයක්ම නරක බවට පෙන්වන විපක්ෂයක් හා තවත් පිරිසක් මේ රටේ ඉන්නවා.
ඒ වගේම කෘෂිකර්මය දියුණු කිරීම සඳහා වැව් 14,000ක් අලුතින් හදන්න මේ රජය සූදානම්. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මකයි. එසේම අතිරේක බෝග වර්ග 16කට සහතික මිලක් දුන්න එකම රජය අපේ රජයයි. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු දෑ ආනයන කිරීම නවතා තිබෙනවා. මේ ගැනත් ඇතැම් අය නොයෙක් ආකාරයේ මඩ ප්‍රචාර දියත් කරමින් සිටිනවා. ඒ නිසා විශේෂයෙන් ගොවිජනතාව අවුස්සන පිරිසට මා කියනනේ, මේ වැඩපිළිවෙළ ආපස්සට අදින්න කටයුතු කරන්න එපා කියායි.
කොවිඩ් වසංගතය තියෙන මේ වේලාවේ ඒ සඳහා රජය විශාල මුදලක් වැය කරනවා. අපේ රට ලෝකයේ එන්නත්කරණය කරන රටවල් අතර ඉතාමත් ඉහළ මට්ටමක තියෙන රටක් හැටියට අද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළි අරගෙන තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තුළත් සෑම අවස්ථාවකම විපක්ෂය කරන්නේ මඩ ගැහිල්ල විතරයි.
සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මුළු රටක්, රජයත් අර්බුද රැසකට මුහුණ දෙන වෙලාවක ජනාධිපති පුටුවේ සිහිනය තමයි සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන්නේ. මේ වගේ පුද්ගලයෙක් අපේ රටේ විපක්ෂ නායකයා වීම ගැන අප කනගාටු වෙනවා.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මාධ්‍යවලට ප්‍රකාශ කරනවා, මුලින්ම අපේ රටේ ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට රැගෙන ගියේ මහින්ද රාජපක්ෂ මහතා කියා. ඇත්ත හැටදහසහක් මේ රටේ තරුණ තරුණියන් ටයර් සෑයවල පුච්චනකොට, නීතිය කැලෑ වැදී තිබෙන අවස්ථාවක වෙන පිහිටක් නොමැති නිසා එදා මහින්ද රාජපක්ෂ මහතා ඒ වගකීම ඉටු කළා. නැතිනම් හැට දහසකින් බේරෙන්නේ නෑ. ලක්ෂ ගානක් මැරෙන්න තිබුණා. එය එතුමා නැවැත්තුවා. අද එහෙම දෙයක් නෑ. අපේ රට අද ඉතා ප්‍රජාතන්ත්‍රවාදි රටක්.
නෙරංජලා වික්‍රමසිංහ