― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅරුන්දිකගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි

අරුන්දිකගෙන් පැය 05ක් ප්‍රශ්න කරයි

රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

රුපියල් ලක්ෂ 30ක මුදල් වංචාවක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.

මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරවූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නැමැත්තන් මේ වනවිට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ විසින් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප මත මුදාහැර තිබුණා.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබා දී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදු කර තිබෙනවා.

ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධීකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05 වැනිදා සහ 22 වැනිදා රුපියල් ලක්ෂ දොළහක් සහ හාරලක්ෂ අනූ පන්දහසක මුදලක් තැන්පත් කර ඇති අතර අතරමැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අමාත්‍යවරයා විදේශගත වන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇති අතර නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ සිටියදී තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද සඳහන්.

කෙසේවෙතත් ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නැහැ.

පොරොන්දු වූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබා නොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන්ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර තිබුණා.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම ගිණුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කිරීමට නියමිතයි.