අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් ‘යෝකර් රජු’ ලසිත් මාලිංගගේ ඉදිරි ගමන වෙනුවෙන් සෑම දෙසකින්ම තව තවත් සුබ පැතුම් ගලා එයි. ඔහු අයිපීඑල් තරගාවලියේදී ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පිල අමුතුම තාලයේ සුබ පැතුමක් ඊයේ දිනයේ සිය නිල ට්විටර් ගිණුමේ එක්කර තිබිණි. මේ දිනවල ඉන්දියාව ඇතුලු බොහෝ රටවල ජනප්‍රිය යොහානී ද සිල්වා ගයන කෝටි 11කට අධික ජනතාවක් නැරැඹූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ආකර්ශනීයම කොටසක් වු ‘සුකු-මාලි නුඹ තමා’ (SukuMALI Nuba Thama) යනුවෙන් සුබ පැතුම අවසන් කොට තිබිණි.
ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කළ ප්‍රධානතම පන්දු යවන්නා බව එම කණ්ඩායම සිහිපත් කරමින් සමාජ මාධ්‍ය ජාලා අතරේ අලංකාර සිතුවමක් ද සමග සුබ පැතුම එක්කර තිබීම විශේෂත්වයකි. මාලිංග ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නෙක් ද වේ.
ප්‍රින්ස් ගුණසේකර