31.7 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා

ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා

මහේල ඉන්දීය මාධ්‍යයට කියයි

තමන් ඉන්දිය ජාතික ක්‍රිකට් පුහුණකරු ධුරය ප්‍රතික්ෂේප කර ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ධුරය බාර ගැනීමට සුදානමින් සිටින බවට ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත විසින් පළ කළ පුවත මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කරයි. සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරන මහේල “ ඒ අය (Indian Express) මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ කවදද? කරුණාකර ඕපාදූප ප්‍රචාරය කරන පහත් මට්ටමට වැටෙන්න එපා.” යනුවෙන් දැනුම්දී සිටියි.

විස්සයි 20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් ලෙස සැලකෙන මහේල ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත මුල්වරට අනාවරණය කළ අතර පසුව ඉන්දීය මාධ්‍ය මගින් එම පුවතට විශාල ප්‍රචාරයක් දී තිබිණි.

වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතාගේ නිල කාලය එළැඹෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු අවසන් වන බැවින් ශාස්ත්‍රි මහතා වෙනුවට ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හැකි ලොව හොඳම පුද්ගලයා පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විමසිල්ලෙන් සිටින බවත් එවැනි තත්ත්වයක් තුළ එම භූමිකාව මහේල ජයවර්ධන මහතාට පැවරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය වුව ද ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් වුණි.

තවද ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු තනතුර වෙනුවෙන් මේ වන විට පැතිර යන තවත් එක් නමක් වන්නේ අනිල් කුම්බ්ලේ මහතාගේ නම වුවද නායක විරාත් කෝලි සමඟ ඇති වූ මතභේද හේතුවෙන් ඔහු තනතුරට පත්වීම සැක සහිත බවද එම මාධ්‍ය වාර්තාවල සදහන්ව තිබිණි.

“ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12ක්ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ. මේ තනතුර මුල් කාලයේ මට හොඳ අභියෝගයක්.

ඒත් පවුල සමඟ නිවෙසේ ජීවත් වීමට මගේ පෞද්ගලික කාලය යොමු කළ යුතුයි. උපදේශකයකු වශයෙන් ශ්‍රී ලංකාවට යම් උදවුවක් කිරීමට ලැබීම ගැනත් මම සතුටු වනවා. එහෙත් ඒකත් පූර්ණ කාලීනව නොවෙයි” මහේල ජයවර්ධන මහතා ස්කයි ස්පෝර්ට්ස් වෙත පැවසු බව ඉන්දීය වාර්තාවල සදහන් විය.

මහේල ජයවර්ධන මහතා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරිම ඉන්දීය පුහුණුකරු තනතුර භාර ගැනීමට බාධාවක් බවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල අතර, නීති රීති වල පැහැදිලිව සඳහන් වන්නේ ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියදී වෙනත් කණ්ඩායමක තනතුරක් දැරීමට නොහැකි බවත් එම ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන් විය.

 

ප්‍රින්ස් ගුණසේකර