මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගමනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ඒ සඳහා විදේශ රැකියා නියෝජිතායතන වලට විශාල වගකීමක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේ 2025 වර්ෂයේදී විදේශ රැකියා 340,000 ක් සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට සහභාගී වෙමිනි.
මෙම අවස්ථාවේදී, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් ඇමරිකන් ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
2024 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයින් 314,000 ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, එම වර්ෂයේදී ඇමරිකන් ඩොලර් බිලියන 6.51 ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව සේනානායක මහතා සඳහන් කළේය. 2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතරින් වෘත්තිමය රැකියා (Skill Job) සඳහා සියයට 65% ක් හා අවම වෘත්තිමය රැකියා (Low Skill Job) සඳහා සියයට 35% ක ප්‍රමාණයක් පිටත්ව ගොස් ඇති බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 වර්ෂයේදී වෘත්තිමය රැකියා සඳහා ශ්‍රමිකයින් සියයට 75 ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 25ක පිරිසක් යොමු කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව කුවේට් රාජ්‍යය සඳහා 84,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා 55,000 ක්, සෞදි අරාබිය සඳහා 52,000 ක් යොමු කිරීමට බලාපොරොත්තු වේ. එසේම කාර්යාංශය මගින් සෘජුවම රැකියා සඳහා යොමු කරන ඊශ්‍රායල් රැකියා 15,900 ක්, ජපානයේ රැකියා 9,000 ක්, දකුණු කොරියාව යන රටවල් සඳහා ශ්‍රමිකයින් 8,000 ක් යොමු කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇත.
මෙම වැඩමුළුව සඳහා 2024 වර්ෂයේදී මැදපෙරදිග කලාපයේ රටවල, ගෘහස්ථ නොවන රැකියා සඳහා අවම වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100ට වැඩියෙන් යොමු කළ රැකියා නියෝජිතායතනවල බලපත්‍රලාභීන් පිරිසක් සහභාගි විය.