රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ ලැබෙන්නේ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එකතුවී කටයුතු කළොත් පමණක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවැසීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (23) පොළොන්නරුව, මනම්පිටිය සතොස නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.
“රාජ්‍ය අංශය සේම පෞද්ගලික අංශයත් දියුණු විය යුතුයි. එසේ දියුණු විය යුත්තේ පාරිභෝගික ජනතාව සූරාගෙන පීඩනයට පත් කරමින් නොවේ.
කොවිඩ් තත්ත්වයත් එක්ක සීනිවල බද්ද අඩු කළේ ජනතාවට අඩු මිලට සීනි ගන්න. නමුත් කූට වෙළෙන්දෝ එහිදී අයථා ප්‍රයෝජන ගන්න කටයුතු කළා. ජනතාවට සහන මිලට සීනි කිලෝවක්, සහල් කිලෝවක් ගන්න පුළුවන්. ගොවි ජනතාවට වී ටිකට හොඳ මිලක් ලැබුණා. පාරිභෝගික ජනතාවට සහල් ටිකට සාධාරණ මිලක් ලැබුණා. කහ ආනයනය සීමා කරන්න ජනාධිපතිවරයා ගත් තීන්දු අනුව දැන් අපේ රටට අවශ්‍ය කහ අපිම නිෂ්පාදනය කර ගන්නවා. කොම්පෝස්ට් වගාවට එරෙහිව කඩාකප්පල්කාරී පිරිසක් පාරට ඇවිල්ලා තර්ජන ගර්ජන කරනවා.
අපි උත්සාහ කරන්න ඕනෑ එක කන්නයක් කාබනික පොහොර යොදා වගා කරන්න. එහිදී අස්වැන්න අඩු වුණොත් රජය එම පාඩුව පියවන්න සූදානම්. යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුණොත් අපට පුළුවන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම්වත් කර විකල්පයක් ඉල්ලන්න. මේ රටේ මොන දේ කරන්න ගියත් ඇතැමුන් කුමන්ත්‍රණ කරනවා. කකුලෙන් අදිනවා. ඒ පිළිබඳව පොළොන්නරු ජනතාවට මෑත කාලයේ හොඳ අත්දැකීම් තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තව තවත් සතොස ශාඛා විවෘත කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. එහිදී අපේ ප්‍රදේශයේම තරුණ තරුණියන්ට රැකී රක්ෂා දෙන ලෙසත් ඉල්ලනවා. එමඟින් පාරිභෝගික ජනතාවට සහනදායී මිලට භාණ්ඩ ගැනීමේ හැකියාව ලැබෙනවා.”
පොළොන්නරුව දිස්ත්‍රික් සමූහ – එම්. පී. සරත්