අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මීළඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන පළමු තරගමාලාව සටහන් කරමින් ලබන නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – කොදෙව් තරගමාලාවට දින වෙන් කර ඇත.
ඒ අනුව නොවැම්බර් මස 21 වැනිදා දෙපිල අතර ටෙස්ට් තරගමාලාව ආරම්භ කිරීමට නියමිත අතර, තරග 2ම ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවත්වෙනු ඇත. මීට අමතරව අයිසීසී ටෙස්ට් ශූරතාවලියේ තවත් තරග 10කට ශ්‍රී ලංකාව පිල ලබන වසරේදී ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය සහ නවසීලන්තය ලබන වසරේදී ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග 2 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් ඔස්ට්‍රේලියා සහ පාකිස්තාන ටෙස්ට් තරගමාලා ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇත.
වසර 2022 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියා කුසලාන සහ විස්සයි20 ලෝක කුසලාන තරගමාලා හැරුණු විට විදෙස් සංචාර 5කට සහභාගි වන බැවින් අවිවේකි වසරක් බවට පත් වී තිබේ. පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් කල් ගිය එක්දින තරග 3ක් සහ විස්සයි20 තරග 2ක් ඇතුළත් සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරියේදී සිදු කෙරෙන අතර, පෙබරවාරියේ විස්සයි20 තරග 5කට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වනු ඇත.
අනතුරුව ටෙස්ට් තරග 2කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීම සඳහා මාර්තුවේදී ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කිරීමට මැයි මාසයේ යළි බංග්ලාදේශය බලා පිටත් වීමට නියමිතය. එම ටෙස්ට් තරගමාලාව මේ වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගමාලාවකි.
ලබන වසරේ මැයි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය ඇතුළත ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට සහ පාකිස්තානයට සත්කාරකත්වය දෙනු ඇත. මැයි මාසයේ ආරම්භ වන ඔස්ට්‍රේලියා පිලේ ශ්‍රී ලංකා සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 5ක් ඇතුළත් වන අතර, පාකිස්තාන පිල ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමටය.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි අදියර ලබන වසරේ අගෝස්තුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ආසියා කුසලාන තරගමාලාව සැප්තැම්බරයේ පැවැත්වෙනු ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසරේ කල් දැමූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතය.
අනතුරුව නොවැම්බර් මාසයේදී ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නවසීලන්තයේ සංචාරය කරන ශ්‍රී ලංකා පිල එක්දින තරග 5කට ක්‍රීඩා කිරීමට ලබන වසරේ දෙසැම්බරයේදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.
ෆවුස් මොහොමඩ්