29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

රුපියල් මිලියන 93කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා එක් දියණියකගේ ස්වාමිපුරුෂයා යන විත්තිකරුවන් හය දෙනාට ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී අධිචෝදනා භාරදෙනු ලැබීය.

එක් විත්තිකරුවකුට රුපියල් 50,000 බැගින්වූ මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙක බැගින් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුවන් විදේශ ගතවීම වළක්වමින් තහනම් නියෝගයක් ද නිකුත් කළාය. එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසට ද නියෝග කළාය.

කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් පියදර්ශනී, අමාලි රඹුක්වැල්ල, නයනිකා රඹුක්වැල්ල, චන්ද්‍රලතා රඹුක්වැල්ල හා ඉසුරු පුලස්ති බණ්ඩාර යන විත්තිකරුවන් හයදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් අධිචෝදනා 43ක් යටතේ එම නඩුව පවරා තිබිණි.

සිතාසි නියෝග අනුව අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් ඇපමත මුදාහැරීමට තීරණය කළ විනිසුරුවරිය එම ඇප නියෝග නිකුත් කළාය. එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරිය එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට නියෝග කළාය.

අයථා ලෙස උපයාගත් මුදලින් මිලදීගත් බව කියන දේපළ, මුදල් සහිත බැංකු ගිණුම් තහනම් කිරීමට මහාධිකරණය 2024. 06 වැනි මස පියවර ගෙන තිබිණි. එකී මුදල් උපයා ගැනීමට අදාළ ගනුදෙනු සැකසහිත බවට ඉදිරිපත් වූ සාක්ෂි අනුව 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 53 (1) වගන්තිය ප්‍රකාරව විත්තිකරුවන්ගේ නමින් පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු තුනක් දින හතකට තහනම් කිරීමට පියවර ගෙන තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුව අධිකරණයට කරුණු වාර්තා කර එකී තහනම් නියෝග ලබාගැනීමට පියවර ගෙන තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ (නීති) තුසිතා ජයනෙත්ති මහත්මිය පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ මහතා විත්තිය නියෝජනය කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 145ක් පමණ වටිනා සුඛෝපභෝගි නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කිරීමට ද මහාධිකරණය පසුගිය වසරේ සැප්තැම්බර් මස නියෝග කොට තිබිණි.