28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑදා මා කළ පැමිණිල්ලේ ප්‍රතිඵල අද කරළියට ඇවිල්ලා

එදා මා කළ පැමිණිල්ලේ ප්‍රතිඵල අද කරළියට ඇවිල්ලා

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට ප්‍රධාන හේතුව 2021 අප්‍රේල් මස 6 වැනිදා මා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ල බවත්, ඒ පැමිණිල්ලෙන් මා ඉල්ලීමක් කළේ 2015 සිට පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය දක්වා ඖෂධ නියාමන අධිකාරියේ සිදු වූ දූෂිත ගනුදෙනු දූෂණ වංචා සම්බන්ධව සොයා බලන ලෙසත්, අද මේ කරළියට පැමිණ ඇත්තේ එම පැමිණිල්ලේ ප්‍රතිඵලය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගිය 24 වැනිදා කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“මේ දිනවල විපක්ෂයේ ලොකුම නාඩගම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යෑම පිළිබඳව හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් හඬනැඟීමයි. මේ නාඩගම දැන් අප දකින්නේ රූපවාහිනියේ විකාශනය වන මෙගා ටෙලි නාට්‍යක් වගේ.

විපක්ෂ නායකවරයා උගුරට හොරා බෙහෙත් කෑමට පටන් ගෙන. ඔහුගේ එකම මාතෘකාව ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පමණයි. ඒ මහතා කළ යුත්තේ සුපුරුදු චෝදනා පත්‍ර එළිදැක්වීම නොව යහපාලන සමයේ සිදු වූ ඖෂධ මාෆියාව පිළිබඳව සොයා බැලීමයි. එදා නිහඬව සිටි ඒ මහතා අද මේක ප්‍රධාන මාතෘකාව බවට පත් කරගෙන තිබෙනවා.

මා අහන්න කැමතියි, විපක්ෂ නායකවරයාගෙන් මේ ඖෂධ මාෆියාව ගැන ඒ මහතා කොහේටද පැමිණිලි කළේ කියලා. ඔවුන්ගේ උත්සාහය නැවත වාරයක් මේ රට අපහසුතාවට පත් කිරීමයි. ජනාධිපතිවරයා මේ රට පාලනය කරන්නේ විනිවිදභාවයෙන් යුතුව. 2019 අප භාරගත්තේ අසාධ්‍ය ලෙඩෙක් වගේ රටක්. ඒ වගේ රටක් පාලනය කරමින් සිටියදී තමයි මේ ගෝලීය වසංගතේට මූහුණ දෙන්න සිද්ධ වුණේ. මේ සියලුම අභියෝග ජය ගනිමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට මුල්තැන දෙමින් අද මේ ගමන යනවා.

විපක්ෂය මැරිලා ඉපදුණු අය වගේ කතා කළාට ඖෂධ මාෆියාව පටන් ගත්තේ කවුද කියන එක රහසක් නොවේ. හරීන් ප්‍රනාන්දුත් මේ දවස්වල හරබර දේශන පවත්වමින් සිටිනවා. විපක්ෂයේ කණ්ඩායම රජයේ වැරදි සෙවීමට පෙර ඔවුන්ගේ පාලන කාලයේ ටෙන්ඩර් පටිපාටියේ සිදු වූ දූෂණ වංචා සොයා බැලිය යුතුයි.

විපක්ෂ නායකයා පසුගිය සතියේ 22 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී කිව්වේ දත්ත මකන්න කලින් දූෂණ වංචා සිදු වුණා කියලා. ඇයි ඔහුට කියන්න බැරි වුණේ රුපියල් 350.00 ගන්න පුළුවන් වූ ඉන්ජෙක්ෂන් එක එදා ගත්තේ 16,000ට 20,000ට කියලා ඒ මහතා කිව්වේ නෑ.

අපි මේ සත්‍ය කතාව, ඖෂධ මාෆියාව ළඟදීම පැහැදිලි ලෙස රටේ ජනතාවට හෙළි කරනවා. එදාට විපක්ෂයේ මෙගා නාට්‍ය මාලාවත් අවසන් වෙනවා.”

රාගම සමූහ – කේ. එස්. හැන්නදි