28.4 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිසිය - ත්‍රිවිධ හමුදා ඒකාබද්ධව ඔක්. 30-31 ආරාධිත තරගාවලියක්

පොලිසිය – ත්‍රිවිධ හමුදා ඒකාබද්ධව ඔක්. 30-31 ආරාධිත තරගාවලියක්

කොරෝනාවෙන් මාස 18ක් තිත තැබූ රග්බි අරඹන්න අවසරය

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 18කට වැඩි කාලයක් දැඩි පසුබෑමකට ලක් වූ දේශීය රග්බි පිටියට නව ජීවයක් එක් කරමින් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ලැබී ඇත. එම තරගාවලියේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස්මාලාවක් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව ලිඛිත අවසරය පසුගියදා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපතිවරයාට යොමු කර ඇත. ලබන ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින එම තරගාවලිය පැවැත්වීමට රග්බි ආයතනය සැලසුම් කළද, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව අදාළ දිනයන්හි ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියක් සංවිධාන කර ඇති බැවින් දෙසැම්බර් මාසය දක්වා සිය තරගාවලිය කල් දැමීමට රග්බි ආයතනය තීරණය කර ඇත.

පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අන්තර් සමාජ ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට සියලු රග්බි කණ්ඩායම් සඳහා ඇරියුම් කර ඇති අතර, මහනුවර ක්‍රීඩා සමාජය සහ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහභාගි නොවන බව ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වෙතත් එම තරගාවලිය සාර්ථිකව පැවැත්වීමට එම තරග කමිටුව රග්බි ආයතනයෙන් සහයෝගය ඉල්ලා ඇතැයි වාර්තා වේ. තරගාවලි කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පොලිස් රග්බි කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අත්සනින් යුතුව රග්බි ආයතනයේ ලේකම් ජූඩ් පිල්ලේ මහතාට ඒ බව ලිඛිතව දන්වා ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව රග්බි ආයතනය සැලසුම් කළ සත් සාමාජික රග්බි තරගාවලිය දෙසැම්බරය දක්වා කල් දැමීමටත්, ආරාධිත තරගාවලියට සියළු සහයෝගය ලබාදීමටත් තීරණය කළ බව ‘දිනමිණ‘ කළ විමසුමකදී රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉල්යාස් මහතා ප්‍රකාශ කළේය.

‘මේ ආරාධිත තරගාවලිය සාර්ථක කරගැනීමට සියළුම ක්‍රීඩා සමාජ දායකත්වය ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. නොවැම්බරයේ පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම ආරාධිත තරගාවලියෙන් සිදු කිරීමට අප තීරණය කළා.‘ රග්බි සභාපතිවරයා පැවැසීය.

කොවිඩ් වසංගතයේ අභියෝග හමුවේ මෙවැනි ආරාධිත තරගාවලියක් පැවත්වීමට ඉදිරිපත්වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරමින් රග්බි ආයතනය එහි තරගාවලි කමිටුවේ සභාපති සහ පොලිස් රග්බි කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලිපියක් යොමු කර ඇති අතර, ඊට කාන්තා තරගාවලියක් ද ඇතුළත් කිරිමට අවධානය යොමු කරන ලෙසත් ඉල්ලීමක් කර තිබේ. එමෙන්ම ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය එම තරගාවලිය තුළින් තෝරා ගන්නා ලෙස රග්බි තේරීම් කමිටුවට ද උපදෙස් දී තිබේ.

සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ද පසුගිය කාලය තුළ උපදෙස් සපයා තිබූ අතර, පසුගියදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා විසින් ලිඛිත දැනුම්දීමක් ද කරනු ලැබීය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ දැඩි පසුබෑමකට ලක් වූ මෙරට රග්බි ක්‍රීඩාව මාස 18කට පසු යළි ආරම්භ කිරීමට හැකිවිම සතුටට කරුණක් බවත්, මේ තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය රග්බි ආයතනය උනන්දු කළ බවත් තරගාවලිය පිළිබඳ ‘දිනමිණ‘ කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා කීවේය.

‘අපි සෑම රග්බි ක්‍රීඩා සමාජයකම 25 දෙනා බැගින් තෝරාගෙන 200 දෙනකු කොවිඩ් මර්දන පළමු හා දෙවැනි එන්නත් මාත්‍රා ලබා දුන්නා. ඒ නිසා දැන් ඔවුන් සහභාගි කරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ තරගාවලියක් පැවැත්වීමට රග්බි ආයතනයට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳ අප ලිඛිතව ඔවුන්ට දැනුම් දුන්නා. ජෛව බුබුලු සෞඛ්‍ය ආරක්ෂක වළල්ලක ක්‍රීඩකයන් රඳවා ගනිමින් මේ තරගාවලිය සාර්ථකව පැවැත්වීමට රග්බි ආයතනයට පුළුවනි. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමත් මේ තරගාවලිය තුළින් සිදු කරන ලෙස අප ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.‘ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.

ෆවුස් මොහොමඩ්