එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කරන බව පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත ඊයේ (1)අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් ඒ මහතා කියා සිටියේ,1000 -M අදියර යටතේ රුපියල් දහසේ සාමාජික කාඩ් පත් නිකුත් කිරීම, මාර්ග ගත ක්‍රමයට ඩිජිටල් සාමාජිකත්ව කාඩ් පත් නිකුත් කිරීම සහ සාමාන්‍ය ක්‍රමයට ගම් මට්ටමින් සාමාජිකයින් බඳවා ගැනීම එම ක්‍රමවේද වෙනවා.
ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ පක්ෂ සාමාජිකයන් බදවා ගැනීමේ වැඩසටහන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ ඡන්දම දිනය යෙදුනු ඔක්තෝබර් 20 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.
මේ යටතේ දැනට සිටින සාමාජිකයන්ගේ ලියාපදිංචියද අලුත් කරන අතර එහිදී මෙම අදියර තුනෙන් එකක් යටතේ සාමාජිකත්වය අලුත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ගමක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
පවතින කොරෝනා වසංගත තත්ත්වය යටතේ නව සාමාජිකත්වයක බඳවා ගැනීම මාර්ග ගත ක්‍රමයට සහ සමාජ මාධ්‍ය ජාලය උපයෝගි කර ගනිමින් සූම්, ෆේස්බුක්, ටික්ටොක් මාධ්‍ය ජාලා හරහා තරුණ කණ්ඩායම් සංවිධානය කර ගන්නවා.
ඩිජිටල් හැඳුනුම්පත තම ජංගම දුරකතනයේ තබා ගැනීමට හැකියි. සාමාජිකයාගේ ක්‍රියාකාරකම්, ඔහු ලබා දෙන පරිත්‍යාග අනුව රන්, රිදී සහ ප්ලැටිනම් වශයෙන් හැඳුනුම් පත්වලට වර්ණ ලබා දෙනවා. එහි ඇතුළත් කරන අංකය අනුව යාපනයේ සාමාජිකයකුට පක්ෂයේ ඉහළ නිලධාරියෙකුගේ ලියුමක් නොමැතිව හම්බන්තොට ප්‍රදේශයට ගොස් එක්සත් ජාතික පක්ෂ බලධාරියකු සමඟ කටයුතු කිරීමටත් හැකියාව ලැබෙනවා. හැඳුනුම් පතට QR කෝඩ් එකක්ද ඇතුළත් කරනවා.
පක්ෂයට අනුබද්ධිත සංවිධාන වන ලක් වනිතා ,ජාතික යොවුන් පෙරමුණ, වෘත්තියවේදීන්ගේ සංවිධානවල සාමාජිකයන්ටද හැඳුනුම්පත ලබා දීමට කටයුතු කරනවා. ඇප් එකක් මගින් සෑම සාමාජිකයකුගේම ක්‍රියාකාරකම් පිළිබඳව තක්සේරු කරනවා. රැස්වීම් සංවිධානය කිරීම, සාමාජිකයන් බඳවා ගැනීම, පක්ෂයේ රැස්වීම්වලට සම්බන්ධ වීම වැනි ක්‍රියාකාරකම් එම ඇප් එක මඟින් තක්සේරු කරනවා.
ශිරෝමි අබයසිංහ