තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියකට එක් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (3) ඕමානය බලා පිටත්ව යෑමට නියමිතය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගාවලිය මෙය වන අතර, එම තරග දෙක මේ මස 7 සහ 9 දිනවල පැවැත්වීමට නියමිතය.
මේ තරගාවලිය ශ්‍රී ලංකා පිලට ඉතා වැදගත් තරගාවලියක් වන්නේ එමීර් රාජ්‍යයේ මෙන්ම ඕමානයේ දේශගුණය සහ ක්‍රිකට් තණතීරුවල හැසිරීම බොහෝ දුරට එක සමාන වන බැවිනි. මේ දිනවල එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයිපීඑල් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල නියෝජනය කරන බැවින් ඕමාන් තරගාවලිය තුන් ඉරියව් වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අහිමි වනු ඇත. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එමීර්හිදී ශ්‍රී ලංකා පිල සමඟින් එක් වනු ඇත.
මේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට එක් වීම සඳහා එමීර් රාජ්‍යය වෙත පිටත්ව යනු ඇත. ලෝක කුසලාන තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භ වන අතර, ඊට පෙර ශ්‍රී ලංකා පිල පුහුණු තරග 2ක් ක්‍රීඩා කිරීමට ද නියමිතය.
මේ අතර, ලෝක කුසලාන තරගාලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය සඳහා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව තවත් ක්‍රීඩකයන් 5 දෙනකු එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ලෝක කුසලාන සංචිතයට ඇතුළත්වන ක්‍රීඩකයන් සංඛ්‍යාව 23කි.
ඒ අනුව පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් මෙලෙස සංචිතයට ඇතුළත් වන අතර, මුලින් සංචිතයට නම් කළ ළහිරු මධුශංකට ආබාධයක් හේතුවෙන් මේ තරගාවලිය අහිමි විය.
ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, මහේෂ් තීක්ෂණ, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.
නිරෝෂාන් ප්‍රියංකර