― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocal1+ 225 ට ආයාචනයක්

1+ 225 ට ආයාචනයක්

1+ 225 ට ආයාචනයක්
අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
ගරු ජනාධිපතිතුමනි,
අප ආසන්න ඉතිහාසයේ දරුණු ම ආර්ථික සහ දේශපාලන අර්බුදය ඉදිරිපිට මා ඔබතුමන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වගකීම් සහගත පුරවැසියෙකු වශයෙනි. එමෙන්ම, හැටනම ලක්ෂයක ඓතිහාසික ජනවරම අපයෝජනය කිරීමට දායක නොවූ ජනතා නියෝජිතයකු ලෙසිණි. ගෙවුණු පැයේ දී මෙන්ම එළඹෙන පැයේදී ද අප සපත කළ අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට හෝ අත්හැරීමකට සූදානම් මානව හිතවාදියකු ලෙසිණි.
මීට වසර දෙකකට ඉහත දී ජනතාව අප පිළිබඳව තැබූ විශ්වාසය ඉතා බරපතල ලෙස නායයමින් තිබෙන බව මෙන්ම, එසේ වීමට කේන්ද්‍රීය හේතූන් කුමක්දැයි අප අවංකවම හඳුනාගත යුතුව ඇත. අප දේශපාලන දිවිය තුල මුහුණපා සිටින බරපතලම ආර්ථික අර්බුදය නිර්මාණය වූයේ වත්මන, අප ද වගකිව යුතු පසුගිය දශක හතරක (4) රාජ්‍ය පාලනයන් විසින් අනුගමනය කරනු ලැබූ අතාර්කික, අදූරදර්ශී මෙන්ම ඇතැම්විට අනීතික ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අවසන් ප්‍රතිඵලය ලෙසිනි. එම අවිචාරවත් රාජ්‍ය මූල්‍ය පිරිහීමට අමතරව කොවිඩ් වසංගතය විසින් සමස්ථ රාජ්‍ය දේහයම ඔත්පල කොට පුරවැසියන් අපේක්ෂාභංගත්වයේ මාවතකට යොමු කර ඇත.
මෙවැනි අවිද්‍යාත්මක කළමනාකරණයක් විසින් බරපතල ඛේදවාචකයකට ඇද දමා තිබූ අප ආර්ථිකය යථාවත් කිරීමේ අසීරු අභියෝගය බාරගත් ගරු අලි සබ්‍රි ඇමතිතුමාට ද නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිතුමා ප්‍රමුඛ සියළු නිලධාරින්ට ද පුරවැසියන්ගේ බුහුමණ නොසඟවා හිමිකල යුතුය. අනෙක් කේන්ද්‍රගත කරුණ වනුයේ, ප්‍රජාතන්ත්‍රවදයේ පූජනීය පරමාර්ථ වලට සහ ආකෘතීන්ට පිටුපා නාභිගත කුඩා පුද්ගල කණ්ඩායමක් විසින් සිදුකළ ආණ්ඩුකරණය බව සක්සුදක් සේ පැහැදිලි ය. වර්ථමානය විසින් ඔප්පු කරමින් සිටින්නේ මෙම සරල සත්‍යයයි.
අවසානයේ, රට බුන්වත් වී ඇති බව අප නිල වශයෙන් පිළිගෙන ඇත. ඔඩු දිවූ ආර්ථික අර්බුදය, අද වන විට දරුණු දේශපාලන අභියෝගයක් ලෙස ඔබතුමන් ගේ මෙන්ම පක්ෂ, විපක්ෂ සියළු මහජන නියෝජිතයින් ගේ දෙපා අභියස කඳවුරු බැඳ තිබේ. මෙවැනි තාර්කික අර්බුද හමුවේ අදූරදර්ශී සහ අපරිණත තීරණ ගැනීම් වලින් සම්පූර්ණයෙන්ම බැහැර විය යුතු බවට දේශපාලන සමාජයේ සිටින අති බහුතරයක් වෙතින් විශාල බලපෑමක් එල්ලවී තිබේ.
අස්වනු නෙළාගත් පසු ගොවියෝ නිවෙස් බලා යන අතර, පඹයෝ ගොවිබිම් මත ඉතිරි වෙති. පසුගිය දශක ගණනාවක විවිධ රාජ්‍ය පාලනයන් විසින් ඡන්ද දායකයා හමුවේ ඉතිහාසය පුරා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලාංකේය දේශපාලන යතාර්ථය මෙය නොවේ ද? විවිධ හේතූන් මත බොහෝ දෙනා ඉතිහාසයේ එළෙස නිසොල්මන් වූව ද අද අප නූතන දූ පුතුන්ගේ පරම්පරාව, “පඹයන්”නොවන බව ක්‍රියාවෙන් ඔප්පුකරමින් සිටී.
එසේම, බලය ලබා ගැනීම සඳහා අසීමිතව කැපවීම් කළ අහිංසක මහජනතාව මෙන්ම ඒ සඳහා යාන්ත්‍රණය සැකසූ ඈත එපිට ශාඛා සංවිධානයේ සිට පළාත් පාලන ආයතන නියෝජිතයන් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීන් දක්වාම වෙහෙසුනු, කැපවීම් කළ බොහෝ නායකයින්ට ගෝත්‍රික දේශපාලන හිංසනයන්ට මුහුණ දීම හැර අන් ගෞරවයක් හිමි නොවීය. එමනිසාම, ආණ්ඩුවේ මතවාදයන් ට සුජාතභාවයක් හිමි නොවිණි.
විධායක ජනාධිපති ධූරය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ බහුතර ආණ්ඩු බලය යන අතිශයින්ම වැදගත් මහජන වගකීම්, මෙවැනි තීරණාත්මක අවස්ථාවක ආරක්ෂා කළ යුත්තේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් යටතේ බැව් ගෞරවයෙන් යෝජනා කරමි. එසේ නොකොට, දාදු බලයෙන් හෝ බාහු බලයෙන් බලයේ රැදී සිටීමේ නග්න අපේක්ෂාව පෙරදැරිව සිදුකරන ගතානුගතික මන්ත්‍රීන් වෙන්දේසි කිරීමේ කෛරාටික දේශපාලන උපක්‍රම මඟින් සිදුවන්නේ අර්බුදයේ ගැඹුර සහ පරිමාව පුළුල්වීම පමණක්ම බව අවධාරණය කරන්නෙමි.
ඉතිහාසයේ වැඩිම තරුණ නියෝජනයක් සහිත අභියෝගයන් ලුහුබැඳිය හැකි කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සඳහා ඔබතුමන් විසින් ගනු ලැබූ තීරණය පැසසිය යුතු නමුදු එයද පමා වූ විසඳුම් ගොන්නට එකතු වී හමාරය. එමනිසා, අප අප්‍රමාදව කළයුතු වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන හැකි සෑම පක්ෂයකම නියෝජනයකින් අවංක එකඟතාවයක් සහිත සංඛ්‍යාත්මකව කුඩා කැබිනට් මණ්ඩලයක් උපරිම වශයෙන් වසරක කාලසීමාවක් සඳහා පත්කර ගැනීම යි. රටේ සෛවරීභාවය සහ ජාතික සමඟිය සඳහා ස්ථාවර පදනමක් සකස්කර ගැනීම මෙන්ම පොදු එකඟතාවයකින් රටේ ආර්ථික සහ දේශපාලන න්‍යායපත්‍ර සකස් කර ගැනීම සහ නිශ්චිත කාල වකවානුවක් තුල එය සාර්ථක කර ගැනීමේ අභියෝගය, යෝජිත එම පාලනයේ ප්‍රමුඛතම අරමුණ විය යුතු ය.
ඒ අනුව, ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින්, ජීවත්වීම සඳහා අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අ‍දෝනාවන්ට සංවේදී වෙමින් වහා සිදුකළ යුත්තේ ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී ජාතික න්‍යාය පත්‍රය පෙරදැරිකරගත් සර්ව පාක්ෂික නව ආණ්ඩුවක් ගොඩනගා මෙම අභියෝග එක්සත්ව ජයගැනීම සඳහා පාර්ලිමේන්තුවට අවස්ථාව සලසා දීමයි. එම කැපවීමට මෙරට ඉතිහාසයේ සුවිශේෂී ගෞරවයක් ලැබෙනු නිසැකය. මෙම තීරණයට එළඹීම සඳහා ප්‍රමාද වන සතියක් පාසා සිදුවන්නේ රටේ අනාගතය සහ ස්ථාවරභාවය වසර ගණනාවකින් විනාශ කර දැමීම බව අවම වශයෙන් මේ දැවෙන තත්පරයේ දී හෝ අප අවබෝධ කරගත යුතුව තිබේ.
ගරු ජනාධිපතිතුමනි, මෙවැනි අභියෝගාත්මක දේශපාලන තීන්දුවක් වෙත ප්‍රවේශ වීමේ දී ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ වගකීම් විරහිත හැසිරීම ද සමාජය තේරුම්ගෙන තිබේ. වගකීම් විරහිත ආණ්ඩුවක මෙන්ම වගකීම් විරහිත විපක්ෂයක සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ අති බහුතරය සූදානම් නොමැති බව මාගේ ආසන්න අත්දැකීම යි. 225 පිළිබඳව දිස්වෙන සංඛ්‍යා හරඹ කුමක් වූව ද එය දේශපාලන යතාර්ථය යි. ජනතාවගේ හෘදසාක්ෂිය සමඟ නියෝජිතයින්ගේ හෘදසාක්ෂිය සමපාතව දියවන්නාව සමීපයට පැමිණෙමින් සිටින බව අප සියළු දෙනා නොපමාව තේරුම් ගත යුතුව ඇත.
එබැවින්, මෙම අර්බුදජනක අවස්ථාවේ දී මහජනතාවත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආකෘතියත් රැකගනිමින් රටේ ආර්ථික සහ දේශපාලන පදනම යළි පිහිටු වීම සඳහා ගතයුතු නිවැරදි ම හා දූරදර්ශී ම තීරණ ගැනීමට අප පසුබට නොවිය යුතුය.
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ගේ මෙන්ම මාගේ ද පාසල් මෑණියන්ගෙන් අපහට දායාද වූ උද්ධෘත පාඨය උතුම් බුදු වදනකි. “අප්පමාදෝ අමත පදං.” මෙම තීරණාත්මක මොහොතේ දී අප අප්‍රමාදව කටයුතු කරනු ඇතැයි යන්න පොදු මහජනතාවගේ නොතිත් අභිලාශය යි.
ස්තූතියි,
මම – කෘතවේදිත්වය පෙරදැරිව,
ඩලස් අලහප්පෙරුම,
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
2022 අප්‍රේල් මස 21 දින දීය.
පිටපත්: ගරු අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය

No photo description available.
No photo description available.