රටවල් රැසක් රතු ලැයිස්තුවෙන් ඉවතට
පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ප්‍රංසයට යෑමට අවසර ඇති බවත්, නැවත මව්බිමට පැමිණිමේදී නිරෝධානය වීමට අවශ්‍ය නොවන බවත් බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇත. රටවල් අතර සංචාරක සීමා නීති සංශෝධනය කරමින් එරට රජය මේ නිවේදනය නිකුත් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.
මේ රටවල් දෙක අතර සංචරණ සීමා ලිහිල් කිරීමෙන් දෙරටේහිම ජනතාවට ගිම්හාන සෘතුවේ අවසන් භාගය යම් ප්‍රමාණයකින් විවේකීව හා සතුටින් යුතුව ගත කිරීමට හැකියාව ලැබී ඇතැයි මේ නීති සංශෝධනය පිළිබඳ ප්‍රසාදය පළ කරන දෙරටේ සංචාරක නියෝජිතයෝ පවසති.
බ්‍රිතාන්‍ය රජය පසුගිය සතියේ සිට රටවල් අතර සංචරණ සීමා ලිහිල් කරමින් සිටින අතර, ‘හරිත ලැයිස්තුව‘ ලෙස ඔවුන් නම් කර ඇති නිදහසේ ගමන් කළ හැකි රටවල් සංඛ්‍යාව මේ වන විට 36 දක්වා වැඩි කර තිබේ. ඒ අනුව එම රටවල ජනතාවට ද කිසිදු එන්නත්කරණයකට ලක් නොවූවත් නිරෝධායන කාලසීමාවකට යටත් නොවී බ්‍රිතාන්‍යයට පැමිණීමේ අවසරය ලැබී ඇත.
මීට අමතරව මෙතෙක් රතු ලැයිස්තුවේ සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් රාජ්‍යය, ඉන්දියාව සහ බහරේන් රාජ්‍යය කහ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එය එම රටවල් ඉදිරි දින කිහිපය තුළ හරිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ එක් පියවරක් ලෙස සැලකේ.
එසේ වුවත් උතුරු අමෙරිකාවේ සහ ආසියාවේ බොහෝ රටවල් තවමත් බ්‍රිතාන්‍ය රතු ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. එම රටවල සිටින බ්‍රිතාන්‍යය, අයර්ලන්ත පුරවැසියන්ට මෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ පුද්ගලයන්ට පමණක් සිය වියදමින් දින 10 කාලයක් හෝටල තුළ නිරෝධායන කාලසීමාවක් ගත කිරීමෙන් පසු රටට ඇතුල්වීමට අවස්ථාව සලසා තිබේ.
එම නිරෝධායන කාලසීමාව සඳහා දිනකට එක් වැඩිහිටියකුට පවුම් 1,750ක් වැය කිරීමට සිදු වනු ඇත. එය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලකි.