27.8 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහේලගේ එක් වීම විශාල ශක්තියක්

මහේලගේ එක් වීම විශාල ශක්තියක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ එක් වීම කණ්ඩායමට විශාල ශක්තියක් වන බව ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියකට එක් වීම සඳහා ඊයේ (3) ඕමානය බලා පිටත්ව ගිය අතර, කණ්ඩායම මෙරටින් පිටත්ව යෑමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශානක මේ බව පැවසීය.

“මහේල ජයවර්ධනගේ එක් වීම කණ්ඩායමක් හැටියට අපට විශාල වාසියක්. පිතිකරුවෙක් පුහුණුකරුවෙක් විදිහට එයාට තියෙන අත්දැකීම් ලංකාවේ ඉන්න ගොඩක් අයට නැහැ. මහේල අයියාගෙන් අපේ කණ්ඩායමට ලොකු දෙයක් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා.” ශානක කියා සිටියේය.

දකුණු අප්‍රිකා තරගාවලියෙන් පසු කණ්ඩායම පුහුණු කඳවුරකට එක් වූ අතර, එහිදී පුහුණු තරග කිහිපයක් ද ක්‍රීඩා කිරීමෙන් කණ්ඩායමක් ලෙස සියලු දෙනා එකට එක් වී සිටින බවත් හොඳ සූදානමකින් පසු වන බවත් ශානක කීවේය.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර, විස්සයි20 තරග දෙක මේ මස 7 සහ 9 දිනවල පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පිල මින් පෙර ඕමානය සමඟ ක්‍රීඩා කර නැති වුවද එම කණ්ඩායම ගැන වීඩියෝ දර්ශන මඟින් අධ්‍යයනය කරමින් ඔවුන් ගැන අවබෝධයක් ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබේ.

මේ තරග දෙකේදී පිතිකරුවන්ගෙන් උපරිමය ගැනීමට බලාපොරොත්තු වන බව කී ශානක එසේ වුව හොත් පන්දු යවන්නන්ට හොඳ ලකුණු සංඛ්‍යාවක් දීමෙන් විශාල වාසියක් අත් වන බවත් පැවසීය.

මේ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියට එක් වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිතය.

ලෝක කුසලාන සංචිතය පිළිබඳ අදහස් දැක්වූ ශානක “අලුතින් එකතු වුණු පස්දෙනාගෙන් ක්‍රීඩකයන් 15 දෙනාගේ අවසන් සංචිතයට එක් වන ක්‍රීඩකයන් ගැන තීරණයක් පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරීන් ඕමානය සමඟ පැවත්වෙන පුහුණු තරග 2කට කළින් ගනීවි කියලා මම විශ්වාස කරනවා.” යැයි පැවසීය.

නිරෝෂාන් ප්‍රියංකර