නායක දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට ශතක සබඳතාව හේතුවෙන් ඕමානය සමඟ මස්කට් නුවර අල් අමර්ත් පිටියේ ඊයේ පැවැති ඓතිහාසික විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මේ දෙපිල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී හමු වූ පළමු අවස්ථාව වන මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඕමානයට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 143ක් පමණි.
ඕමාන් පිළිතුරු ඉනිමේදී මුල් පෙළ පිතිකරුවන් සිව්දෙනා ලකුණු 23ක් තුළ පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර සමත් වූහ.
අනතුරුව එක් වූ මොහොමඩ් නදීම් සහ අයන් ඛාන් මුළු ලකුණු සංඛ්‍යාව 54 දක්වා ඉහළට ගෙන ගිය අතර, චාමික කරුණාරත්න හමුවේ ඛාන් ලකුණු 23කට දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය.
නදීම් ලකුණු 32ක් රැස් කළ අතර, කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ නසීම් කෞෂි පන්දු 22කින් ලකුණු 42ක් රැස් කළේය. පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 4ක් දවාගත් අතර, නුවන් ප්‍රදීප් සහ චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. ලකුණු 7කට කඩුලු 2ක් අහිමිව තිබියදී පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සමඟින් සිව්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ නැංගුරම බවට පත් වෙද්දී ඔහුට අනගි සහායක් දුන් නායක දසුන් ශානක පන්දු 56කින් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැඟුවේය.
ලකුණු 51කට කඩුලු 4ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉනිම නිමා වන විට ලකුණු 162කට කඩුලු 4ක් ලෙස වෙන් කිරීමට දසුන්ට සහ අවිශ්ක හැකි විණි. අවිශ්ක පන්දු 59කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 83ක් රැස් කළ අතර, දසුන් ලකුනු 51ක් රැස් කළේ පන්දු 24ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.
ඕමාන් නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීම සඳහා පැතුම් නිශ්ශංක (08) සමඟින් පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ට මුහුණ දීමට හැකි වූයේ එක් පන්දුවකට පමණි. දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවෙන් චන්දිමාල් දවාගත් ෆයාස් බට් ඊළඟ පන්දුවෙන් කමිඳු මෙන්ඩිස් ද යළි ක්‍රීඩාගාරයට හරවා යැව්වේය.


