දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී ඉන්දීය පාපන්දු නායක සුනිල් චෙට්ත්‍රී සිය රට වෙනුවෙන් රැස් කළ 77වැනි අන්තර්ජාතික ගෝලය වාර්තා කරමින් බ්‍රසීලයෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වූ පේලේගේ වාර්තාව සමකරයි. පේලේ බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් අන්තර්ජාතික ගෝල් 77ක් වාර්තා කර තිබිණි. පෙරේදා මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේ පැවැති නේපාලය සමග තරගයේදී ගෝල 1-0කින් ඉන්දියාව ජයගත් අතර, එමගින් අවසන් තරගයට පිවිසීමේ අවස්ථා අහිමිවීමෙන් කණ්ඩායම බේරා ගැනීමට චෙට්ත්‍රී සමත් වූවේය.
37 හැවිරිදි චෙට්ත්‍රී , ඉන්දියාව වෙනුවෙන් සිය 123 වන තරගයට ක්‍රීඩා කළ අතර, මේ ශූරතාවලියේ මෙතෙක් ගෝල් දෙකක් ලබා ගැනීමට සමත්ව සිටී. බ්‍රසීලියානු පුරාවෘත්තයක් වන පේලේ අභිබවා යාමට ඉන්දීය නායකයා මේ ශූරතාවලියේදී විශාල බලාපොරොත්තුවකින් සිටින බව ඉන්දීය පාපන්දු පුහුණුකරු පැවැසීය.
පේලේ 1957 ජුලි 7වැනිදා බ්‍රසීලය වෙනුවෙන් පළමු අන්තර්ජාතික පාපන්දු තරගයට එක්වූ අතර, එහිදී ආජෙන්ටිනාවට එරෙහිව සිය පළමු ගෝලය වාර්තා කළේය. පේලේ තම මවුබිම වෙනුවෙන් අවසන් අන්තර්ජාතික පාපන්දු ගෝලය රැස්කළේ 1971 ජුලි 18දා යුගෝස්ලාවියානු පාපන්දු කණ්ඩායමට එරෙහිව රියෝ ද ජැනයිරෝ නගරයේදීය.
ප්‍රින්ස් ගුණසේකර