අමෙරිකාව අංක 1ට ද/ආසියාවේ එකම රට ඉන්දියාවට 48
ජපානයේ ටෝකියෝ නුවරදී දින 18ක් පුරා පැවැති ඔලිම්පික් උලෙළේ සමාප්ති උත්සවය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ විචිත්‍රවත් ලෙස නිමාවට පත් විය. මෙය කොරෝනා වසංගත භීතියෙන් මුළු ලෝකයම සලිත වී ඇති මොහොතක කොරෝනාවට අභියෝග කළ ඔලිම්පික් උලෙළක් ලෙස ඉතිහාසගත වී සාර්ථකව නිමාවට පත් විය.
ඔලිම්පික් උලෙළ ටෝකියෝ නුවරදී පැවැත්වීමෙන් කොරෝනා මුළු ජපානයම වෙළා ගනිවී යැයි සැක සහිත මහජනතාව කලබලයට පත්ව සිටියද ක්‍රීඩා උලෙළින් තදබල තර්ජනයක් සිදු නොවීමට ජපන් බලධාරීන් වගකීමෙන් කටයුතු කිරීම කාගේත් පැසසුමට ලක් විය.
වසංගතය ආශ්රිත හේතූන් මත මේ ක්‍රීඩා උලෙළට සහභාගි වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම ඉසව්ව අවසන් වී පැය 48ක් ඇතුළත ජපානයෙන් පිටව යන ලෙස දැනුම් දී තිබූ හෙයින් බොහෝ දෙනකු දැනටමත් තම තමන්ගේ රටවල් බලා පිටත්ව ගොස් ඇත. මේ තත්ත්වය මත සමාප්ති උලෙළට ඉතා සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් පිරිසක් එක්ව සිටීම කැපී පෙනිණි. ශ්‍රී ලංකා ධජය ගෙන යෑමට කෙටි දුර ක්‍රීඩක යුපුන් අබේකෝන් පමණක් රැඳී සිටි අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ වෙත පැමිණ තරගවලට සහභාගි වූ අනෙක් අට දෙනාම වරින් වර පිටක්ව ගියහ.
ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ අමෙරිකාව යළිත් වරක් තම ආධිපත්‍යය පතුරුවමින් රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 41ක් හා ලෝකඩ පදක්කම් 33ක් ගෙන ලෝකයෙන්ම පෙරමුණට පැමිණි අතර, චීනය රන් පදක්කම් 38ක්, රිදී පදක්කම් 32ක් හා ලෝකඩ පදක්කම් 18ක් දිනා දෙවැනි තැනට පත් විය. සත්කාරක ජපානය රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 14ක් හා ලෝකඩ පදක්කම් 17ක් ගෙන තෙවැනි ස්ථානයේ හා බ්‍රිතාන්‍යය රන් පදක්කම් 22ක්, රිදී පදක්කම් 21ක් හා ලෝකඩ පදක්කම් 22ක් ලබා සිව්වැනි ස්ථානයේ රැඳී සිටියහ. රුසියා ධජය තහනමට ලක් වීම හේතුවෙන් රුසියා ඔලිම්පික් කමිටු ධජය යටතේ පැමිණි එරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 23ක් ගෙන පස්වැනි ස්ථානයේ පසු වූහ.
අසල්වැසි ඉන්දියාව රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව පදක්කම් 14ක් සමඟ 48 වැනි ස්ථානයට පත් වූ අතර, දකුණු ආසියාවේ අනෙක් කිසිදු රටකට පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය. මෙවර ඔලිම්පික් උලෙළේදී කිසිදු පදක්කමක් නැතිව හිස් අතින් යන රටවල් ගණන ශ්‍රී ලංකාව ද ඇතුළුව 120කි.
මලල ක්‍රීඩා ඉසව්වලට පිරිනැමුණු රන් පදක්කම් 49 රටවල් 23ක් අතර බෙදී යද්දී ඉන් රන් පදක්කම් 7ක් දිනා අමෙරිකාව මලල ක්‍රීඩාවේ ද පෙරමුණට පැමිණියේය. ඉතාලිය මලල ක්‍රීඩා ඉසව්වලින් රන් පදක්කම් 5ක්, කෙන්යාව, පෝලන්තය හා ජැමෙයිකාව රන් පදක්කම් 4 බැගින් දිනා ගනිද්දී නෙදර්ලන්තය, චීනය, කැනඩාව, උගන්ඩාව, නොර්වේ, ස්වීඩනය හා බහමාස් යන රටවල් රන් පදක්කම් දෙක බැගින් රැගෙන ගියහ. ඊයේ අවසන් රාත්රියේදී ටෝකියෝව විසින් 2024 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පැවැත්වීම සඳහා පැරිස් නගරයට සත්කාරකත්වය භාර දීමත් සමඟ මෙතෙක් නොනැවතී දැල්වුණු ඔලිම්පික් පහන සෙමෙන් සෙමෙන් නිවී ගියේය.