ශ්රී ලංකා යුද හමුදා ක්රිකට් කමිටුව දෙවැනි වරට සංවිධාන කළ යුද හමුදාපති ලීග් (ARMY COMMANDER’S LEAGUE) ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සීක්කුගේ ප්රසන්න මෙහෙයවූ සුපර් ෆැෂන් නොදර්න් වොරියස් පිල සමත් විය.
දොඹගොඩ යුද හමුදා ක්රීඩා පිටියේ ඊයේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී නොදර්න් පිල හමුවේ තිසර පෙරේරා නායකත්වය දුන් වෙස්ටර්න් වොරියස් පිල ලකුණු 64කින් පරාජයට පත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් නොදර්න් පිල කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 142ක හඹා ගිය වෙස්ටර්න් පිලට ඕවර 16.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 78ක් පමණි.
පන්දු 19කින් ලකුණු 21ක් රැස් කළ නායක තිසර පෙරේරා වෙස්ටර්න් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, පන්දු යැවීමේදී ගයාන් චන්ද්රබෝස් ලකුණු 16කට කඩුලු 4ක් සහ අශාන් ප්රියංජන් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තේය.
ශෙහාන් ප්රනාන්දු සහ පැතුම් කුමාර 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 61ක හේතුවෙන් පළමුව පන්දුවට පහර දුන් නොදර්න් පිලට ලකුණු 142ක් රැස් කිරීමට හැකි විය. ශෙහාන් පන්දු 34කදී නොදැවී ලකුණු 39ක් සහ පැතුම් පන්දු 32කින් ලකුණු 35ක් රැස් කළ අතර, අශාන් රන්දික ලකුණු 23ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී නුවන් ප්රදීප් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. පසුගිය වසරේ පළමු වරට පැවැති මේ තරගාවලියේ ශූරයන් වූ සදර්න් වොරියස් පිලට මෙවර හිමි වූයේ තෙවැනි ස්ථානයයි.
නිරෝෂාන් ප්රියංකර