ක්‍රීඩිකාවන් 40කගෙන් සමන්විත කාන්තා රග්බි සංචිතයක්
ආසියා සත් සාමාජික රග්බි තරගාවලිය ඉලක්ක කරමින් ගොඩ නැගීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයට මහනුවර සහ සීආර් කණ්ඩායම්වල ක්‍රීඩකයන් ද ඇතුළත් කරගැනීමට රග්බි ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ගත් තීරණය යළි වෙනස් කළ බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිනමිණ’ට කීවේය.
ශ්‍රී ලංකා පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සංවිධායකත්වයෙන් මේ මස අගභාගයේ පැවැත්වෙන ‘වොරියර්ස් සෙවන්ස්‘ අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලියෙන් ශ්‍රී ලංකා රග්බි සංචිතය තෝරා ගැනීමට මීට පෙර ගත් තීරණය වෙනස් කරමින් මහනුවර සහ සීආර් කණ්ඩායම්වල ක්‍රීඩකයන්ටත් අවස්ථාවක් දීමට මේ දෙපාර්ශ්වය අතර පෙරේදා සාකච්ඡාවක් පැවැත්විණි. එහෙත් දේශීය තරගාවලියට සහභාගි වීමට නියමිත කණ්ඩායම් පෙරේදා මේ තීරණයට විරෝධය පළ කළ බැවින් මහනුවර සහ සීආර් පිලේ ක්‍රීඩකයන් පුහුණු සංචිතයට ඇතුළත් නොකිරීමට අදහස් කර ඇතැයි අමල් එදිරිසූරිය මහතා කියා සිටියේය.
‘අදාළ කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම නිසා මේ මාස අගභාගයේ පැවැත්වෙන අන්තර් සමාජ සත් සාමාජික තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් විරෝධය දැක්වුවා. ඔවුන්ගේ අදහස වුණේ එවැනි තීරණයක් ගන්නවා නම් ඔවුන්ටත් මේ දේශීය තරගාවලියට ඉදිරිපත් නොවීම එම අවස්ථාව උදාකර ගත හැකි බවයි.‘ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවැසීය.
මේ අතර ලබන මස එක්සත් අරාබි එමිර් රාජ්‍යය කේන්ද්‍ර කරමින් පැවැත්වීමට නියමිත ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මෙන්ම කාන්තා කණ්ඩායමක් ද සහභාගි වන අතර, ඒ සඳහා කාන්තා රග්බි සංචිතයක් ගොඩ නැගීමට තීරණය වී ඇත.
රග්බි ක්‍රීඩිකාවන් 40 දෙනකු මේ සඳහා සංචිත ගත කිරීමට නියමිත අතර, දැනටමත් අදාළ ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් සකස් කර තිබේ. ඊට නවක ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් කිරීමට ද රග්බි ආයතනය පියවර ගෙන ඇත.