ආසියා සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකා සංචිතයට එක් වීමට මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට අවස්ථාව නොලැබීම අතිශය කනගාටුදායක සිදු වීමක් බව ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිලේ නායක දනූෂ දයාන් ප්‍රකාශ කළේය.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මේ මස අග භාගයේ පැවැත්වීමට සූදානම් කර ඇති සත් සාමාජික රග්බි තරගාවලියෙන් ආසියා තරග බිමට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමට ගත් තීරණය සම්බන්ධව තමා ඇතුළු මහනුවර පිලේ සෙසු ක්‍රීඩකයන් දැඩි කලකිරීමකට පත් වී සිටින බව ‘දිනමිණ’ට විශේෂ ප්‍රකාශයක් කරමින් දනූෂ දයාන් සඳහන් කළේය.
“මේකට සාධාරණ විසඳුමක් දෙන්න පුළුවන් කවුරු හරි මැදිහත් වෙන්න ඕනෑ. මේ තරගාවලිය මුලින් පටන් ගත්තේ ආරාධිත තරගාවලියක් හැටියටනේ. ඒ නිසයි මහනුවර ක්‍රීඩා සමාජය බෑ කිව්වේ. මේක රග්බි ආයතනයෙන් සංවිධාන කරන එකක් නම් අනිවාර්යයෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයක් හැටියට ඒකට එනවා. රග්බි ආයතනය හරහා තමයි ශ්‍රී ලංකා සංචිතය තෝරගන්න තරගාවලියක් සංවිධාන වෙන්න ඕනෑ.” දනූෂ දයාන් කියා සිටියේය.
“ආරාධිත තරගාවලියක් කියලා එකපාරටම මාසයක් තියෙද්දී ආසියා තරග බිමට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරන්නේ මේ තරගාවලියෙන් කියලා කිව්වම ඒක අසාධාරණයක්. ඇත්තටම මේ තරගාවලිය පළමු පෙළ තරගාවලියක් නෙවෙයි. දැන් නේ එයාලා කියන්නේ මේක පළමු පෙළ තරගාවලියක් කියලා. මම කියන්නේ නෑ අපි සූදානම් නෑ කියලා. ක්‍රීඩකයන් හැටියට අපි සූදානම්. හැබැයි ක්‍රීඩා සමාජය සූදානම් නෑ. මොකද අපේ ක්‍රීඩා සමාජයට ඕනෑම තරගාවලියකට සූදානම් වීමේදී නියමිත ක්‍රමවේදයක් තියෙනවා. පුහුණුවීම්වලට මාස 3ක් විතර ඕන කරනවා. ඒකයි හැමදාම මහනුවර දේශීය තරග බිමේ කුසලාන දිනා ගත්තේ.” ඔහු වැඩිදුරටත් කීවේය.
‘සමහරු හිතන්නේ අපි කොවිඩ් වසංගතය කාලේ නිකං හිටියා කියලා. අපි හැමදාම තනි තනිව පුහුණුවීම් කළා. ශාරීරික යෝග්‍යතාව ඉහළින් පවත්වාගෙන ගියා. පෙරේදා අපි මහනුවරදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දුන්නා. අපි හැමෝම සාර්ථක වුණා. අපිට කණ්ඩායමක් හැටියට පුහුණු වෙන්න තමයි අවස්ථාව තිබුණේ නැත්තේ. ඒත් දැන් රට ආපහු විවෘත කළාට පස්සේ අපි පුහුණුවීම් පවා ආරම්භ කරලයි තියෙන්නේ.” ඔහු පැවසීය.
“අන්තර්ජාතික අත්දැකීම් අඩු අයගෙන් කොහොමද ආසියා තරග බිමට කණ්ඩායමක් තෝරන්නේ කියලා මම නම් දන්නේ නෑ. අපි අන්තිම වතාවට ආසියා තරග බිමේ ක්‍රීඩා කළේ 2019 අවුරුද්දේ මගේ නායකත්වයෙන්. එදා තරගාවලියට අපේ කණ්ඩායමේ හිටියේ අත්දැකීම් ඇති අය 3 දෙනෙක් විතරයි. අපි එදා 5 වැනි තැනට ආවා. එතැනින් ඉහළට යන්න අත්දැකීම් ඇති අය ඕන කරනවා. සත් සාමාජික රග්බි කියන්නේ අත්දැකීම් තුළින් දුවන තරගාවලියක්. තත්පර කිහිපයක් ඇතුළත තීරණ ගන්න ඕන තරග මුහුණුවරක්. ශාරිරීක යෝග්‍යතාව ඕන තමයි. ඒකයි අපි කියන්නේ අපිට ශාරීරික යෝග්‍යතා පරික්ෂණයක් තියලා බලන්න කියලා.” ඔහු කීවේය.
“අපි රග්බි ආයතනයට කතා කළා. ඉල්ලීම් ඉදිරිපත් කළා. ඒත් යහපත් ප්‍රතිචාරයක් නෑ. රග්බි ආයතනය ගත්තු මේ තීරණයෙන් අපේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසකට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. අපි කියන්නේ රග්බි ආයතනය හරි විදිහට ජාතික සංචිතය තෝරාගත යුතුයි. අපි අතපය කඩාගෙන සෙල්ලම් කළේ මේ විදිහට ක්‍රීඩාවෙන් සමු ගන්න නෙවෙයි. අපි මහනුවර ක්‍රීඩා සමාජය විදිහට ලබන්න පුළුවන් හැම ජයග්‍රහණයක්ම ලබාගෙන ඉවරයි. ඒත් ජාතික කණ්ඩායම විදිහට අපිට ලබාගන්න ජයග්‍රහණ රාශියක් තව තියෙනවා. ඒ ගෞරවය ශ්‍රී ලංකාවට අත් කර ගැනීමට දායකත්වය දීමයි අපේ එකම බලාපොරොත්තුව.” දනූෂ දයාන් අවසන් වශයෙන් කියා සිටියේය.