එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන
වැටුප් ඉල්ලා පාරට බැස සිටින ගුරුවරුන් යළි පාසලට යැවීමට සහ පොහොර ඉල්ලා පාරට බැස සිටින ගොවියන් යළි කුඹුරට යැවීමට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පසුගියදා පැවති ආසන සංවිධායකවරුන් දැනුම්වත් කිරීමේ හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය නොවිසඳන ආණ්ඩුව පොලිසිය සහ ගමේ චණ්ඩීන් යොදා ගනිමින් තර්ජනය කරමින් සිටිනවා. ලබන 21 වැනිදා ගුරුවරුන්ට පාසල් එන ලෙස බලපෑම් කරනවා. මැරයන් දමා තර්ජනය කරනවා. පොලිසිය භාර ඇමැතිවරයා පොලිසිය යොදවා ගුරුවරුන්ට නිල මට්ටමේ තර්ජනය කිරීම එක්සත් ජාතික පක්ෂය හෙළා දකිනවා. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට වාර්තා නොකළොත් උස්සාගෙන යන බවට බුද්ධි අංශ නිලධාරින් යොදා තර්ජනය කර ඇති බවට ගුරු සංගම් චෝදනා කරනවා. සුවහසක් දරුවන්ගේ නැණස පෑදු ගුරු දෙවිවරුන්ට මෙලෙස ද සලකන්නේ. ආණ්ඩුව බලයට එ්මට පෙර සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයක් ගැන කිව්වා. දැන් ගුරුවරුන් ත්‍රස්තාවදීන් කියා හඳුන්වා දෙන්න තරම් ආණ්ඩුව නිර්ලජ්ජිත වෙලා. ලබන 21 වැනිදා සේවයට වාර්තා නොකළොත් අභ්‍යසලාභී ගුරුවරුන් හා සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් යොදවා පාසල් පවත්වාගෙන යන්න හදනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගුරුවරුන්ව උල තියන්න, ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න යෝජනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ඡේදය අනුවත් කම්කරු නීතියේ 186 හා 187 අනුවත් වෘත්තීය අරගලයක නිරත වන විට සේවයෙන් පහ කිරීමට හෝ ස්ථාන මාරු දීමට හෝ අනෙකුත් කිසිදු හිංසාවක් කිරීමට හැකියාවක් නෑ. එසේම රටේ අනෙක් කිසිදු නීතියකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපෑම් කරන්න බෑ. එහෙම තියෙද්දී මේ ආණ්ඩුව හැසිරෙන්නේ ගමේ චණ්ඩි වගෙයි. අපි කියන්නේ ගුරු අරගලය සාකච්ඡාවෙන් විසඳන ලෙසයි. “
ශිරෝමි අබයසිංහ