24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

ශ්‍රී ලංකා පිල පළමු කඩුල්ල පැන ගනී නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සිය පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඊයේ සමත් විය.

අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නැමීබියාවට දුන් ශ්‍රී ලංකා පිල ඕවර 19කුත් පන්දු 3කදී ප්‍රතිවාදි පිල ලකුණු 96කට සීමා කළ අතර, ඕවර 13.3ක් ඇතුළත කඩුලු 3ක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්ක සපුරා ගත්තේය.

නැමීබියා ඉනිමේ මැදපෙළ පිතිකරුවන් වන ක්‍රෙග් විලියම්ස් සහ නායක ජෙරාඩ් එරස්මස් හැරුණු විට ලකුණු 20 සීමාව පසු කිරීමට කිසිදු පිතිකරුවකු සමත් නොවූ අතර, අගපෙළ පිතිකරු ජේ.ජේ. ස්මිත් ලැබු ලකුණු 12 හැරෙන්නට සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ.

අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් දවාලූ අතර, ළහිරු කුමාර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවාලූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ඉනිම ආරම්භ කළ පැතුම් නිශ්ශංක සහ කුසල් ජනිත් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 18ක් වෙද්දී ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ නැමීබියා පන්දු යවන්නෝ දිනේෂ් චන්දිමාල් ලකුණු 5කට දවාලීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමට තරමක පීඩනයක් එල්ල විය.

අන්තර්ජාතික තරග බිමේ කෝඩුකාරයන් වූවත් නැමීබියාවේ පන්දු යවන්නන් ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වීම කැපී පෙනුණි.

එහෙත් ලකුණු අතරේ සිටින පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ එක්ව ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ සිව්වැනි කඩුල්ලට ලකුණු 74ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක පන්දු 27කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 42ක් රැස් කළ අතර, අවිශ්ක නොදැවී ලබාගත් ලකුණු 30ට පන්දු 28ක් වැය විය. ඔහුගේ ඉනිම දහයේ පහර 2කින් වර්ණවත් විය.

නැමීබියාව – 96 (ඕවර 19.3) ක්‍රෙග් විලියම්ස් 29, ජෙරාඩ් එරස්මස් 20 (මහීෂ් තීක්ෂණ 25/3, ළහිරු කුමාර 9/2, වනිඳු හසරංග 24/2)

ශ්‍රී ලංකාව – 100/3 (ඕවර 13.3) භානුක රාජපක්ෂ නොදැවී 42, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 30යි.