විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමට එරෙහිව ඕමානයේ පැවති තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය ඊයේ සමත් විය.
ඒ අනුව සහභාගි වූ තරග 2ම ජයගත් ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 4ක් සමඟ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ ආසන්නයට පැමිණ සිටී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, පැපුවා නිව්ගිනියා පිලට රැස් කිරීමට හැකි වූයේ ඕවර 19.3දී ලකුණු 148ක් පමණි.
පැපුවා නිව්ගිනියා පිලේ මුල්පෙළ පිතිකරුවන් සියලුදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අතර, අංක 7 ස්ථානයේ ක්‍රීඩා කළ නෝමන් වනුවා ලකුණු 47ක් රැස් කිරීම කැපී පෙනුණි. එහෙත් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමේදී ජොෂ් ඩෙවී කඩුලු 4ක් දවාලීය.
ස්කොට්ලන්ත ඉනිම ඉහළට ඔසවා තැබූ මැදපෙළ පිතිකරු රිචී බැරින්ටන් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 49කදී ලකුණු 70ක් රැස් කිරීමට සමත් වූ අතර, මැතිව් ක්‍රොස් සමඟ එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවක් ද ගොඩ නැගුවේය. ඔහුට අගනා සහයක් දුන් ක්‍රොස් පන්දු 36කදී ලකුණු 45ක් ලැබුවේ හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟිනි.
කබුවා මොරියා යැවූ ඉනිමේ අවසන් ඕවරයේදී කඩුලු 4ක්ම බිඳ වැටිණි. ස්කොට්ලන්තයට වැඩිම තර්ජනය එල්ල කළ මේ පන්දු යවන්නා කඩුලු 4ක් දවාගනිද්දී චැඩ් සෝපර් දවාගත් කඩුලු සංඛ්‍යාව 3කි.