32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපළාත් 4ක පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 900ක් දැනුමෙන් සන්නද්ධ කරන ඩිප්ලෝමා ඇරැඹෙයි

පළාත් 4ක පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 900ක් දැනුමෙන් සන්නද්ධ කරන ඩිප්ලෝමා ඇරැඹෙයි

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක්

සෞභාග්‍යයේ දැක්ම තුළින් මෙරට සෑම මාපියකුගේම බලාපොරොත්තුව වන නිරෝගීමත් දරුවකු බිහි කිරීමේ අපේක්ෂා සාර්ථක කර ගැනීම උදෙසා පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ ක්‍රීඩා ඩිප්ලෝමා හැදෑරීමේ පළමු අදියර ආරම්භ කරයි. පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය බඳවාගත් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3000කින් 900කට ක්‍රීඩා විෂය ධාරා 5ක් යටතේ වසර 2ක ඩිප්ලෝමා පාඨමාලාව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත පළාත් 4ක දැන් ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය බඳවාගත් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3000ටම අදියර කිහිපයක් යටතේ මෙම ඩිප්ලෝමා පාඨමාලාව පැවැත්වෙන අතර, අනතුරුව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවැරදි ක්‍රීඩා පුහුණුවක් රට පුරා ලබාදීම මෙමගින් අපේක්ෂා කෙරේ. ක්‍රීඩා අමාත්‍යාංශ දැක්ම අනුව වසර 2024දී හා වසර 2028දී පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අන්තර්ජාතික තලයට යොමු කිරීමේ අනාගත වැඩපිළිවෙල ක්‍රමවත් ලෙස සාර්ථක කර ගැනීමට පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම ඉතා වැදගත් බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

පාසල් දරුවන් හා තරුණ පරපුර ක්‍රීඩාව සඳහා යොමු කිරීමේදී පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ කාර්යභාරය වැදගත් තැනක් ගන්නා හෙයින් කිසිදු භේදයකින් තොරව ක්‍රීඩා ඩිප්ලෝමා වැඩපිළිවෙල සාර්ථක කරන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව මධ්‍යම පළාතේ දිගන ක්‍රීඩා සංකීර්ණයේ, ඌව පළාත ගිරාදුරුකෝට්ටේ මහවැලි ක්‍රීඩාංගණයේ, දකුණු පළාතේ බද්දේගම ක්‍රීඩා සංකීර්ණයේ හා බස්නාහිර පළාතේ මහරගම පොල්වත්ත ක්‍රීඩා විද්‍යායතනයේ මේ දිනවල පැවැත්වේ. මේ ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවට ප්‍රධාන විෂයන් 5ක් ඇතුළත් වන අතර, ඒ යටතේ අනු විෂයන් කිහිපයක් සම්බන්ධ දැනුම ද විෂය ධාරාවට අඩංගු වේ.

සාමාන්‍ය ක්‍රීඩා පුහුණු න්‍යාය මුල්ම විෂය වන අතර, අනිවාර්යයෙන් ක්‍රීඩා 4ක් හා වෛකල්පිත ක්‍රීඩා 4ක් ඇතුළු ක්‍රීඩා 10ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුගේ අභිමතය අනුව තෝරාගෙන ඒවායේ නීති රීති පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබාගත යුතු වේ. මෙයට අමතරව මෙම සෑම පාසල් ක්‍රීඩා පුහුණුකරුවකුම මලල ක්‍රීඩා නීති රීති හා මලල ක්‍රීඩා පිටි සැකසීම හැදෑරිය යුතු වන අතර, ධාවන ඉසව්, විසි කිරීමේ ඉසව් හා පැනීමේ ඉසව් පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් එහිදී ලබා දේ.

පාඨමාලාවට එක්ව සිටින පාසල් ක්‍රීඩා පුහුණුකරුගේ විශේෂ හැකියාව හා කැමැත්ත අනුව තවත් ක්‍රීඩාවක් තෝරාගත යුතු අතර, එම ක්‍රීඩාව සම්බන්ධ වෙනම විශේෂ දැනුමක් ලබාදීම පාඨමාලාවේ තවත් වැදගත් අංගයකි. මේ සියල්ලට අමතරව ක්‍රීඩා විද්‍යාව සම්බන්ධව හා ක්‍රීඩා මනෝ විද්‍යාව සම්බන්ධ වෛද්‍ය කරුණු ද ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවෙන් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ට ලබාදීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව පැය 600කින් සමන්විත වන අතර, වසර 2ක කාලය අවසානයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා ක්‍රීඩා ඩිප්ලෝමා සහතිකය ප්‍රදානය කරේ. මේ ආකාරයේ විශාල පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් පිරිසක් දැනුමෙන් සන්නද්ධ කරන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වේ.

මේ වැඩ පිළිවෙල ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ සහයෝගය මේ සඳහා ලැබී ඇත.