තායිවානයේ ආරක්ෂාවට පෙනී සිටීමේ සූදානමක්
චීනයෙන් තායිවානයට ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට මැදිහත් වන බවත්, තායිවානය ආරක්ෂා කිරීමට සූදානම් බවත් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේය. තායිවානය තම රටේ කොටසක් බව කියමින් මේ කුඩා රාජ්‍යයට චීනය බලපෑම් එල්ල කරමින් සිටින්නේ දශක 4ක කාලයක සිටය.
තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට අමෙරිකාව බැඳී සිටින බව සඳහන් කළ ජනාධිපති බයිඩ්න් යම්කිසි අවස්ථාවක චීනයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් අමෙරිකා හමුදාව යෙදවීමට අදහස් කරන්නේදැයි වාර්තාකරුවකු ප්‍රශ්න කළ විට ඔහු කියා ඇත්තේ උපායමාර්ගික ක්‍රමයක් අනුගමනය කරන බවය.
අමෙරිකා ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය චීනයේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තායිවානයට වැරදි පණිවිඩ නොයවන ලෙස චීන විදේශ අමාත්‍යාංශය අමෙරිකාවට අවවාද කර ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම චීන – අමෙරිකා සම්බන්ධතාව පළුදු කරනොගන්නා ලෙසත් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ යුද ශක්තිය පිළිබඳ කිසිවකු කළබල නොවිය යුතු බවත්, ලෝක ඉතිහාසයේ බලවත්ම හමුදාව අමෙරිකාව සතු බව චීනය, රුසියාව සහ ලොව අනෙකුත් රටවල් හොඳින්ම දන්නා බවත් බයිඩ්න් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.