ඇමැති රෝහිත අබේගුණවර්ධන
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන්ට බලපෑ වැටුප් විෂමතා ගැටලුව විසදූ බව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (25) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
වරාය සේවකයන් නව දහස් පන්සියකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටි මේ ගැටලුව සඳහා අදියර දෙකක් යටතේ විසඳුම් ලබාදීමට යෝජනා වී ඇතැයි ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් කොට්ඨාසය මඟින් විෂමතාව විසදීම සඳහා තාක්ෂණික පසුබිම සකස් කරන ලද අතර වරාය හා නාවික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මුදල් අමාත්‍යාංශය හා වෘත්තීය සමිති හි නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සේවකයන්ගේ ගැටලු සමාලෝචනය කර තිබේ.
දිගින් දිගටම, අතින් අතට යන ගැටලුවක් වී තිබුනු වරාය සේවක වැටුප් විෂමතාවය තවත් අමාත්‍යවරයකු අතට නොදී විසඳීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය වැනි ව්‍යාපෘති සමඟ පිබිදෙන වරාය සංවර්ධනය යථාර්ථයක් කර ගැනීම සඳහා නිලධාරීන්ගේ මෙන්ම සේවකයන්ගේ අකන්ඩ සහාය බලාපොරොත්තු වන බවත් සංවර්ධනයට එරෙහි මතවාද කොතෙක් තිබුණ ද නිවැරදි තීරණය ගැනීමට තමන් කිසිදු අවස්ථාවක නොපැකිළෙන බව ද හෙතෙම සඳහන් කළේය.
රන්මලී සෝමසිරි