ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරති
සුඩාන අගමැති අබ්දල්ලා හම්ඩොක් සහ ඔහුගේ බිරිය මුනා අබ්දල්ලා අත්අඩංගුවට ගෙන හෙළි නොකළ ස්ථානයක රඳවා තබා ඇතැයි අගමැතිවරයාගේ ආර්ථික උපදේශක ඇඩම් හිරේකා සීඑන්එන් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මේ බව තහවුරු කරමින් එරට ප්‍රවෘත්ති අමාත්‍යාංශය ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියේ අගමැතිවරයා නිවාස අඩස්සියේ තබා ඇති බවය.
ඊයේ අළුයම හමුදාව විසින් අගමැතිවරයාගේ නිෙවස වට කර ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, රජයේ තවත් ඇමැතිවරුන් සහ නිලධාරීන් රැසක් ද මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.
සුඩානයේ අන්තර්වාර රජයට එරෙහිව ක්‍රියාත්මක වන මේ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් එරට ජන ජීවිතය දැඩි ව්‍යාකූලත්වයට පත්වී ඇතැයිද, වීදි පුරා උද්ඝෝෂණයේ නිරතව සිටින සුඩාන වැසියෝ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිති.
එරට කාර්ටුම් අගනුවර අන්තර්ජාල සම්බන්ධතා බිඳවැටී ඇති අතර, කෝපයට පත් ජනතාව වීදිවල ටයර් පුලුස්සමින් විරෝධය දක්වන බව සමාජ මාධ්‍යවලට මුදා හැර ඇති වීඩියෝ පට මගින් දැක්වෙයි. සිදුවිය හැකි ඕනෑම ආකාරයක හමුදා කුමන්ත්‍රණයක් සඳහා ප්‍රතිවිරෝධතා දක්වන ලෙස එරට ප්‍රමුඛතම ප්‍රජාතන්ත්‍ර හිතවාදී ක්‍රියාකාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති. කාර්ටුම් නුවර ගුවන්තොටුපොළ මේ වන විට වසාදමා ඇති අතර, අන්තර්ජාතික ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.