― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිස්සයි20 ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකාවට තෙවැනි අභියෝගය අද

විස්සයි20 ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකාවට තෙවැනි අභියෝගය අද

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තෙවැනි තරගය අද (30) සාජාහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීමට අද තරගය මේ දෙපිලටම තීරණාත්මක වී තිබේ. මෙතෙක් මේ දෙපිලම තරග දෙකකට සහභාගිව තරගය බැගින් ජය ගනිමින් තරගය බැගින් පරාජය වී ඇති අතර, දළ ලකුණු වේගය මත දකුණු අප්‍රිකාව තෙවැනි තැනත් ශ්‍රී ලංකාව සිව් වැනි තැනත් පසු වෙයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සාජාහිදී සහභාගි වී ඇති තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් ව තිබේ. මූලික වටයේ නැමීබියාව සමඟින් සහ සුපිරි 12 වටයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිල සාජාහිදී තරග වැදිණි.

එබැවින් පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන් ද සාජා පිටියේදී විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත්ව තිබීම ශ්‍රී ලංකා පිලට වාසියක් වනු ඇත. ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක කියා සිටියේ ද ඊළඟ තරගය පැවැත්වෙන සාජාහිදී තරග දෙකක් ක්‍රීඩා කර ඇති නිසාත් එහි තණතිල්ල පිළිබඳ අවබෝධයක් ඇති නිසාත් දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට හොඳින් එක් වනු ඇති බවයි.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් තරග වදින දකුණු අප්‍රිකාව සුපිරි 12දී තරග 2කට සහභාගි වී ඇති අතර, එහිදී ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූ ඔවුහු වත්මන් ලෝක ශූර කොදෙව් පිල සමඟ පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට සමත් වූහ. මෙවර තරගාවලියේදී ඔවුන් සාජාහිදී තරග බිමට පිවිසෙන්නේ පළමු වරටය.

දකුණු අප්‍රිකා මුල් පෙළ පිතිකරුවන්ගේ දස්කම් හේතුවෙන් කොදෙව්වන්ට එරෙහි තරගය ඔවුන් ජය ගත්තේ කඩුලු 7කිනි. එබැවින් දකුණු අප්‍රිකානු මුල් පෙළ බිඳ දැමීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සැලසුම් සැකසීමට සිදු වන අතර, දෙවැනි තරගයට එක් නොවූ ක්වින්ටන් ඩි කොක් අද තරගයට එක් වීම දකුණු අප්‍රිකානුවන්ට ශක්තියක් වනු ඇත.

මේ අතර අද තරගය ටබ්‍රයිස් ෂම්සි සහ වනිඳු හසරංග අතර දඟ පන්දු සටනක් බවට පත්ව ඇත. ඒ ඔවුන් දෙදෙනා අයිසීසී විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල රැඳී සිටින බැවිනි. ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී කඩුලු 2ක් බිඳ දමා ඇති හසරංග පළමු වටයේදී කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් සහභාගි වූ තරග දෙකේදී ෂම්සි දවා ගෙන ඇත්තේ කඩුල්ලක් පමණි.

මේ දෙපිල විස්සයි20 පිටියේ 16 වරක් හමුව ඇති අතර, ඉන් තරග 3ක් පවත්වා ඇත්තේ ලෝක කුසලාන තරග බිමේදීය. ඉන් තරග 2ක් (2012 සහ 2016) ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව ඇති අතර, ශ්‍රී ලංකාව 2014 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාව පරාජය කර ඇත. සමස්ත තරග 16න් 11ක් දකුණු අප්‍රිකාවත්, තරග 5ක් ශ්‍රී ලංකාවත් ජය ගෙන තිබේ.

අවසන් වරට පසුගිය මස ශ්‍රී ලංකාවේදී පැවැති තරග 3කින් සමන්විත තරගාවලිය 3-0ක ලෙස ජය ගත් දකුණු අප්‍රිකාව දෙපිල අතර අවසන් වරට පැවැති තරග 6ම ජය ගැනීමට සමත්ව ඇත.

මේ අතර පෙරේදා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිලට කඩුලු 7ක පරාජයක් අත් විය. එම තරගයේදී ආරම්භක පිතිකරු කුසල් ජනිත් (35) සමඟින් චරිත් අසලංක (35) දෙවැනි කඩුල්ලට ලකුණු 63ක සබඳතාවක් සමඟින් ලකුණු පුවරුව 73 දක්වා ඉදිරියට ගෙන ගියහ. එම පිතිකරුවන් දෙදෙනාගේ දැවී යෑමෙන් පසු අවිශ්ක ප්‍රනාන්දු (4), වනිඳු හසරංග (4) සහ දසුන් ශානක (12) අඩු ලකුණ ගණනකට දැවී යෑමෙන් ශ්‍රී ලංකා පිලට විශාල ලකුණු පුවරුවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි විය. භානුක රාජපක්ෂ නොදැවී රැස් කළ ලකුණු 33 හේතුවෙන් ලකුණු පුවරුව 150 සීමාව පසු කළේය. එබැවින් අද තරගයේදී පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙනු ඇත.

තරගයෙන් අනතුරුව නායක දසුන් ශානක පැවසුවේ තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වුවත් මුල් පිතිකරුවන් දුන් ආරම්භය මැද පෙළ පිතිකරුවන්ට පවත්වා ගැනීමට නොහැකි වීම පාඩුවක් වූ බවයි. තම කණ්ඩායමේ පිතිකරුවන්ට ඕවර 15-16 වන තුරු පිටියේ ස්ථාවර වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබුණු බව ද ඔහු කීය. ඔස්ට්‍රේලියාවේ ප්‍රබල පිතිකරුවන් දෙදෙනකු වූ වෝනර් සහ ෆින්ච්ට පන්දු යැවීමේදී පවර්ප්ලේ අවස්ථාවේ හොඳින් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම පරාජයට හේතුවක් වූ බව ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු.

දකුණු අප්‍රිකා සංචිතය – ටෙම්බා බවුමා (නායක), ක්වින්ටන් ඩි කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, රසී වැන් ඩර් ඩුසෙන්, එඩ්න් මාක්‍රම්, හෙන්රිච් ක්ලාසන්, ඩේවිඩ් මිලර්, ඩ්වේන් ප්‍රිටෝරියස්, කේෂව් මහරාජ්, කගිසෝ රබාඩා, ඇන්රිච් නොර්ට්ජේ, ටබ්‍රයිස් ෂම්සි, ලුන්ගි න්ගිඩි, බජෝන් ෆර්ටූන්, වියාන් මෝල්ඩර්.