ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ
එල්.එන්.ජී. බලාගාරය විකිණීම සම්බන්ධව රජයේ කැබිනට් ඇමැතිවරුන් නාඩගම්කාරයන් ලෙස මාධ්‍ය ඉදිරියේ රඟ දැක්වීම් නොකර, ඇමැතිධුරවලින් ඉවත් වී ඊට විරෝධය දක්වා, විකිණීමට නියමිත ජාතික සම්පත් රැක ගත යුතු බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (02) එල්.එන්.ජී. බලාගාරය ඇමෙරිකාවට විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“කැබිනට් මණ්ඩලයට නොදන්නවා මෙවැනි දේවල් සිදු වීම ව්‍යවස්ථාවට පටහැනියි. ඒ වගේම රටේ ජාතික සම්පත් විකිණීම ඊට වඩා නීති විරෝධියි. අද වන විට බලශක්ති ඇමැතිවරයා ඇතුළු තවත් ඇමැතිවරුන් මේ බලාගාරය ඇමෙරිකාවට විකිණීමට එරෙහිව රංගනයක් එළිදක්වනවා. නමුත් ඔවුන් කියනවා කැබිනට් එකට ඉදිරිපත් නොකර මේ බලාගාරය විකිණීමේ කෙටුම්පත් අනුමත කරගෙන අවසාන මොහොතේ දැනුම් දුන් බව. ඊට එරෙහිවත් මේ නඩුව ගොනු කර තිබෙනවා.
“කිසි ආණ්ඩුවක දී නොවුණු දේවල් මේ ආණ්ඩුව කරගෙන යනවා. සියල්ල විකුණා අවසන්ව තමයි ජනතාව දැනුම්වත් කරන්නේ. ඒ වගේම එකම රජයේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමැතිවරුන් දැනුම්වත් කරන්නෙත් සියල්ල් සිදුකර අවසන්වයි. නමුත් ඒ කතා විශ්වාස කරන්න බැහැ. මොකද මේ හැමෝම තවමත් මේ ආණ්ඩුවෙමයි ඉන්නේ. ඇත්තටම මේ සම්පත් විකිණීම සම්බන්ධව විරෝධයක් තිබේ නම් ඇමැතිධුරවලින් අස් වෙන්න පුළුවන්. නමුත් මේ ජනතාවට හඬ නඟන, රට බේරා ගන්න කතා කළ ඇමැතිවරු එහෙම කරන්නේ නැහැ. මේ ඔක්කොම කට්ටිය රට විකුණනවා. රට ණය කරනවා. පොදු සම්පත් විකුණනවා. ඒකට එරෙහි වෙන්න මාධ්‍ය සංදර්ශන තියා වැඩක් නැහැ .ඇත්තටම බලාගාරය ඇමෙරිකාවට විකිණීම සම්බන්ධව විරෝධය පළ කරන්න ඕනෑ. මේ කරන්නේ ජනතාව නැවත වරක් රැවටීමක්. නාඩගම්කාරයෝ වගේ තමයි මේ ආණ්ඩු විරෝධීව හැසිරෙන ඇමැතිවරුන් වැඩ කරන්නේ. නැතුව රටට ආදරයට නෙවෙයි. ජනතාවත් රවට්ටගෙන ඇමැතිකමත් රැක ගන්න තමයි ඕනෑ කරන්නේ. මෙහෙම රට කෑලිවලට කඩා විකුණද්දී ඔය රටට ආදරේ කැබිනට් ඇමැතිවරුන්ට ආණ්ඩුව ඇතුළේ තවමත් ඉන්න ලැජ්ජ නැද්ද?”
නුවන් හෙට්ටිආරච්චි


